අප ගැන

දැක්ම

කුළුබඩු සහ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයේ විශිෂ්ඨත්වය

මෙහෙවර

පරිසරයේ යහපැවැත්ම සාක්ෂාත්කර ගනිමින් අපනයන කෘෂි භෝග ක්ෂේත්‍රයේ නියැලෙන සියළු පාර්ශ්වයන්ගේ ආර්ථික හා සමාජීය තත්වය ඉහල නැංවීම සඳහා අපනයන කෘෂි භෝග නිෂ්පාදනය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉහල නැංවීම තුලින් වැඩි විදේශ විනියක් ඉපයීම මූලික කරගත් පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් සැලසුම්කිරීම සහ ක්‍රියාත්මක කිරීම

හැඳින්වීම

බහු වාර්ෂික කුළුබඩු සහ පාන වර්ග වර්ධනය හා වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් ශත වර්ෂ ගණනාවක ඉතිහාසයක් හා ලෝක ව්‍යාප්ත කීර්තිය ශ්‍රී ලංකාව සතු වුවත් එම නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා වූ මහජන මැදිහත්වීමට වසර 40 කට වඩා වැඩි ඉතිහාසයක් නොමැත. අපනයන කෘෂිකාර්මික භෝග අතර කෝපි සංවර්ධනය කිරීම සඳහා පළමු ජාතික උත්සාහය 1959 දී ජාතික සැලසුම් අමාත්‍යාංශය විසින් සිදු කරන ලදී. ආර්ථික වශයෙන් ඵලදායී නොවන තේ ඉඩම් සංවර්ධනය කිරීම එකල වැදගත් කාරණයක් වූ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කෘෂිකාර්මික සැලැස්ම ආර්ථික වශයෙන් ඵලදායී නොවන කුඩා තේ ඉඩම්වල කෝපි සිටුවීමේ සහනාධාර ක්‍රමයක් සඳහා සකස් කරන ලදී. මෙම උත්සාහය සාර්ථක යැයි සලකනු ලැබූ අතර 1963 ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සුළු අපනයන භෝග ලෙස හඳුන්වන බහු වාර්ෂික කුළුබඩු සහ කොකෝවා සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල භාර ගන්නා ලදී. කෙසේ වෙතත්, මෙම භෝග සංවර්ධනයේ දී ඒවායේ බහු වාර්ෂික ක්‍රියාකාරිත්වය ජාතික කෘෂිකාර්මික සැළැස්මේ ප්‍රධාන ධාරාවට ගෙන එනු ලැබුවේ 1971 න් පසුවය.

The Sessional Paper No. 1968 XVIII යටතේ 1968 දී තේ කොමිෂන් සභාව පත්කරන ලද අතර, කොමිෂන් සභාව විසින් ආර්ථික වශයෙන් ඵලදායී නොවන තේ ඉඩම්වල වගා කිරීම සඳහා විකල්ප බෝග ලෙස කොකෝවා, කෝපි, කුරුඳු, ගම්මිරිස් සහ සාදික්කා නිර්දේශ කරන ලදී. තේ කොමිෂන් සභාව විසින් සිදු කළ අධ්‍යයනයෙන් හෙලිදරවු වූ පරිදි මැදරට ප්‍රදේශවල ආර්ථික වශයෙන් ඵලදායී නොවන තේ ඉඩම් ප්‍රමාණයක් තිබුණ අතර, තේ සමග වෙනත් සුදුසු භෝග විවිධාංගීකරණය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී. එම වාර්තාවෙන් පසුව, FAO / UNDP ආධාරයෙන් බෝග විවිධාංගීකරණය කිරීමේ ව්‍යාපෘතිය 1970 අප්‍රේල් මාසයේ මැද භාගයේදී ආරම්භ විය. බෝග විවිධාංගීකරණ ව්‍යාපෘතිය ආරම්භ වූ විගසම 1972 දී සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව කැබිනට් පත්‍රිකාවකින් ස්ථාපිත කරන ලදී. සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ වූයේ සාම්ප්‍රදායිකව වගා කළ තේ රබර් සහ පොල් ඉඩම් විවිධාංගීකරණය හා අන්තර් රෝපණය කිරීම තුළින් ආර්ථික ශක්‍යතාව ඉහළ නැංවීම යි. පොල් හා කොකෝවා පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන ලද කොකෝවා සංවර්ධන හා පුනරුත්ථාපන වැඩසටහන ඉක්මනින් නව දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී. බෝග විවිධාංගීකරණ ව්‍යාපෘතිය මගින් පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සඳහා වූ ක්‍රියා පටිපාටි සංවර්ධනය කරන ලදී.

1975 වන විට සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරන ලද නමුත්, සුළු අපනයන භෝග භාවිතයන් ආර්ථික වශයෙන් ඵලදායී නොවන තේ විවිධාංගීකරණ ව්‍යාපෘතිය තවදුරටත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළේය. මෙම ක්‍රියාවත් සමග, දෙපාර්තමේන්තුවට එහි ප්‍රධාන අරමුණකින් බැහැර වීමට සිදුවූ අතර තම දැක්ම කරා ළඟාවීමේ ප්‍රධාන ගැටලුවකට මුහුණ දුන්නේය. කෙසේ වෙතත්, FAO / UNDP ආධාර යටතේ ව්‍යාපෘතිය ශක්තිමත් පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර, අපනයන කෙරෙහි අවධානය යොමු කරමින් තම කාර්යයන් ඉදිරියට ක්‍රියාත්මක කරන ලදී. 1992 වන විට සුළු අපනයන භෝගවල අපනයන ප්‍රමාණයන් සහ අගයන් කිහිප ගුණයකින් වර්ධනය වී ඇත්තේ ප්‍රධාන වශයෙන් දෙපාර්තමේන්තුමය මැදිහත්වීම හේතුවෙන් වන අතර, ශක්තිමත් රාජ්‍ය මැදිහත්වීමකින් ක්ෂේත්‍රයේ සංවර්ධනය පිණිස පැවතීම කාලීන අවශ්‍යතාවයක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1992 අංක 46 දරණ පාර්ලිමේන්තු පනත මගින් ශක්තිමත් කිරීමේ නීති සම්පාදනයක් සමග ඉහත දෙපාර්තමේන්තුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලෙස නම් කරන ලදී. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම ක්ෂේත්‍රෙය් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් විය. එයින් පසුව, වඩාත් සංවිධානාත්මක ක්‍රමවේදයකින් සංවර්ධන හා පර්යේෂණ කටයුතු මෙම දෙපාර්තමේන්තුව විසින් දියත් කරන ලදී.

පර්යේෂණ හා සංවර්ධන අංශය ආරම්භ වූයේ 1972 දී දෙපාර්තමේන්තුව පිහිටුවීමත් සමඟය. අපනයන කෘෂි භෝග වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක දහහතර තුළ සංවර්ධන අංශය එහි ක්‍රියාකාරී කාර්යයන් ස්ථාපිත කර ඇත. 1972 වසරේ සිට බෝග නිෂ්පාදන පෙරමුණෙහි ක්‍රියාකාරී බෝග සඳහා ආධාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලදී. මෙම යෝජනා ක්‍රමය කිහිප වතාවක් සංශෝධනය කරන ලද නමුත් මේ දක්වා එය ක්‍රියාත්මකව පවතී.

පළමු පර්යේෂණ ස්ථානය නිලධාරීන් දෙදෙනෙකු සහ සහායක කාර්ය මණ්ඩලය අතලොස්සක් සමඟ මාතලේ දී පිහිටුවන ලදී. වසර ගණනාවක් පුරා, පර්යේෂණ අංශය පුළුල් කරමින් අංගසම්පූර්ණ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට එය පත්වූ අතර, කුන්ඩසාලේ, දැල්පිටිය, නිල්ලඹේ, පාලොල්පිටිය සහ නාරම්මල ඇතුළු තවත් වෙළඳ භාණ්ඩ පදනම් කරගත් හා ගොවි පද්ධති පදනම් කරගත් පර්යේෂණ උප ස්ථාන හයක් දක්වා පුළුල් වී තිබේ. 1987-96 කාලය තුළ FAO / UNDP ව්‍යාපෘතිය සහ ලෝක බැංකුව විසින් කෘෂිකාර්මික පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයමින් මගින් මෙම සංවර්ධනයට සහාය විය.

ප්‍රතිපත්තියක් ලෙස, අන්තර්ජාතික ප්‍රමිතීන් සහ වෙළඳ රෙගුලාසි වලට අනුකූලව නිෂ්පාදනවල ගුණාත්මකභාවය සපුරාලීම සඳහා නිෂ්පාදනය, ඵලදායිතාව සහ වැඩිදියුණු කිරීම් කෙරෙහි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩි අවධානයක් යොමු කළ අතර එමඟින් අනෙකුත් රටවල් සමඟ තරඟ කිරීමට හැකි විය. ජාත්‍යන්තර වෙළඳපොලෙහි ඉල්ලුම සැලකිල්ලට ගනිමින් 2016 වසර සිට “වඩා හොඳ තත්ත්වයේ නිෂ්පාදනයක්” යන තේමාව යටතේ දේශීය නිෂ්පාදන පද්ධතිය සඳහා ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් ලෙස යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම (GAP) සහ යහපත් කළමනාකරණ පිළිවෙත් (GMP) හඳුන්වා දීම සිදුකරන ලදී. ඊට අමතරව “ධන සවිය” නමින් ගෙවතු ප්‍රවර්ධන වැඩසටහනක් ග්‍රාමීය ආර්ථිකය නැංවීමේ අරමුණින් දියත් කරන ලදී.

ප්‍රමුඛ කාර්යයන්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1992 සැප්තැම්බර් 22 අංක 46 දරණ අපනයන කෘෂිභෝග ප්‍රවර්ධනය කිරීමේ පාර්ලිමේන්තු පනතෙහි විධි විධාන පරිදි පහත සඳහන් කාර්යයන් හා සේවාවන් සිදු කරනු ලැබේ.

  1. අපනයන කෘෂිභෝග වගා කිරීම සහ සැකසීම සංවිධානය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම
  2. භෝග වැඩි දියුණු කිරීම, නියමිත පරිදි වගා කිරීම, භෝග ආරක්ෂණය, පසු අස්වනු පිළිවෙත් සහ සමාජ ආර්ථීක සංවර්ධනය ආදියට අදාලවූ විවිධ ක්ෂේත්‍රයන්හි පර්යේෂණ දියත් කිරීම
  3. උසස් තත්වයේ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය සහ ලබාදීම
  4. අපනයන කෘෂිභෝග සඳහා නිෂ්පාදනය, ඵලදායීතාවය සහ ගුණාත්මය ඉහල නැංවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම
  5. භෝග ආරක්ෂණ උපදේශන සේවා ලබාදීම
  6. සමෝධානිත පළිබෝධ මර්ධන ක්‍රම ප්‍රවර්ධනය
  7. සමෝධානිත ශාක පෝෂක කළමණාකරණය ප්‍රවර්ධනය
  8. කාබනික කෘෂිකර්මය ප්‍රවර්ධනය
  9. වෙළඳපොල තොරතුරු, ප්‍රමිතීන් සහ මිල ගණන් පිළිබඳ තොරතුරු ලබාදීම
  10. අපනයන කෘෂිභෝග නිෂ්පාදන සහ රෝපණ ද්‍රව්‍ය ආනයනය පාලනය
  11. අපනයන කෘෂිභෝග නිෂ්පාදනයේ සැකසීමේ සහ අලෙවියේ යෙදී සිටින්නන් පුහුණු කිරීම
  12. වැවිලි ක්ෂේත්‍රයේ අපනයන කෘෂිභෝග ප්‍රවර්ධනය සඳහා උපදේශන සේවා ලබාදීම
  13. අපනයන කෘෂිභෝග හා සම්බන්ධ රජයේ සහ පෞද්ගලික අංශයේ බැඳීම් ශක්තිමත් කිරීම
  14. 1992 සැප්තැම්බර් 22 අංක 46 දරණ අපනයන කෘෂිභෝග ප්‍රවර්ධනය කිරීමේ පාර්ලිමේන්තු පනතෙහි විධි විධාන ක්‍රියාත්මක කිරීම
  15. අපනයන කෘෂිභෝග හා සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයේ නියුතු රාජ්‍ය සංවිධාන සඳහා දායකත්වය ලබාදීම
  16. තාක්ෂණික දැණුම ලබාදීම පවත්වාගෙන යාම