ඉඟුරු

ඉඟුරු

Zingiber Officinale
කුලය: Zingiberaceae

ඉතිහාසය

ඉඟුරු, නැගෙනහිර ආසියාවේ ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන අතර වසර 3000 කට වඩා ඉතිහාසික වාර්තා ඇත. ඉඟුරු පුරාණ කාලයේ සිටම කුළුබඩු වර්ගයක් ලෙස භාවිතා කර ඇත. එය චීන හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ බහුලව භාවිතා වේ. නීරෝ අධිරාජ්‍යයාගේ පාලන සමයේදී රෝම හමුදාව ඉඟුරු ඖෂධයක් ලෙස භාවිතා කළ බව පැවසෙන තොරතුරු තිබේ. ක්‍රි.ව.1547 වන විට ඉඟුරු යුරෝපීය රටවලට කුළුබඩු වර්ගයක් ලෙස ආනයනය කර ඇති බවට සාක්ෂි හමුවී තිබේ. මෑත වසරවලදී ඉඟුරු බොහෝ රටවල වාණිජ බෝගයක් ලෙස වගා කර ඇත. චීනය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ෆීජි, හවායි, හොංකොං, ජැමෙයිකාව, ජපානය, නයිජීරියාව, පකිස්ථානය, බටහිර අප්‍රිකාව, තායිවානය වැනි රටවල මහා පරිමාණයෙන් ඉඟුරු වගා කෙරේ.

නිෂ්පාදන සහ ප්‍රයෝජන

ඉඟුරු, අමු ඉඟුරු ලෙස හෝ වියළි ආකාරයෙන් වෙළඳපොලේ තිබේ. වියළි ඉඟුරු කුඩු කර විවිධ නිෂ්පාදන සඳහා භාවිතා කරයි. අච්චාරු දමන ලද අමු ඉඟුරු නැගෙනහිර ආසියානු රටවල ජනප්‍රිය වන අතර ලුණු දැමූ හා පැණිරස කරන ලද ඉඟුරු නිෂ්පාදන ආසියානු වෙළඳපොලේද බහුලව තිබේ. ඉඟුරු තෙල් සහ ඔලියොරෙසින් ව්‍යංජන, බේකරි සහ වෙනත් ආහාර නිෂ්පාදනයේ දී කුළුබඩුවක් ලෙස යොදා ගන්නා අතර, සුවඳ විලවුන් කර්මාන්තයේ දී ද යම් ප්‍රමාණයක් භාවිතා වේ. එසේම එය අද දක්වා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ බහුලව භාවිතා කරන අමුද්‍රව්‍යයකි.

ප්‍රධාන වගා කරන ප්‍රදේශ

ඉඟුරු රට පුරා වගා කරන නමුත් තෙත් සහ අතරමැදි කලාප ප්‍රධාන වශයෙන් වගා කරන ප්‍රදේශ වේ. 2019 දී මුළු වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 1838 ක් වූ අතර කුරුණගල, මහනුවර, ගම්පහ, කොළඹ සහ කෑගල්ල ප්‍රධාන වශයෙන් වගා කරන ප්‍රදේශ විය. බටහිර පළාතේ ඉඟුරු බොහෝ දුරට පොල් සමග අන්තර් බෝගයක් ලෙස සහ ගෙවතු වගාවක් ලෙස වගා කෙරේ. 2019 දී මුළු නිෂ්පාදනය මෙ.ටොන් 13,785ක් විය.

ප්‍රභේද

දේශීය හා විදේශ රටවලින් හදුන්වා දුන් ප්‍රභේද කිහිපයක් ශ්‍රී ලංකාවේ මහා පරිමාණයෙන් වගා කෙරේ.

දේශීය ඉඟුරු

රයිසෝම කුඩා වන අතර තන්තුමය ස්වභාවයකින් යුක්තය. රයිසෝමයේ අභ්‍යන්තරය අළු සුදු පැහැයෙන් යුක්ත වේ. ඉඟුරු රසය සහ සුවඳ අනෙකුත් විශේෂයන්ට වඩා සාපේක්ෂව ඉහළ ය. බීම සඳහා විශාල වශයෙන් භාවිතා වේ.

චීන ඉඟුරු

රයිසෝම විශාල වන අතර, ජලය සහිත මාංසල ස්වභාවයෙන් යුක්තය. රයිසෝමයේ අභ්‍යන්තරය මද කහ පැහැයෙන් යුක්ත වේ. රසය හා සුවඳ ස්වල්ප ලෙස ඇත. අච්චාරු සඳහා විශාල වශයෙන් භාවිතා වේ.

රැංගූන් ඉඟුරු

රයිසෝම මධ්‍යම ප්‍රමාණයේ වන අතර රයිසෝමය හොඳින් ඇඟිලි ආකාරයට බෙදී ඇත. ඒවායේ බොහෝ රූපීය සහ කායික ලක්ෂණ දේශීය ඉගුරු සහ චීන ඉගුරුවල අතරමැදි ස්වාභාවයක් ගනී.

පාංශු සහ දේශගුණික අවශ්‍යතා

පස

හොඳින් ජලය බැස යන සාරවත් වැලි ලෝම පස් වඩාත් සුදුසු පාංශු වර්ගය වේ. pH අගය 5.5 සිට 6.5 දක්වා විය යුතුය

දේශගුණය

උන්නතාංශය – මුහුදු මට්ටමේ සිට මීටර් 1500 දක්වා වූ ප්‍රදේශවල ඉඟුරු සාර්ථකව වගා කෙරේ
වර්ෂාපතනය – වර්ෂාපතනය මිලිමීටර් 1500 හෝ ඊට වැඩි විය යුතුය. වර්ෂාපතනය අඩු නම් ජල සම්පාදනය යටතේ බෝග වගා කළ යුතුය.

ක්ෂේත්‍රයේ සිටුවීම

ඉඟුරු රෝපණය කරනු ලබන්නේ උස්වූ පාත්තිවල හෝ වැටි මත ය. ක්ෂේත්‍රය සෙන්ටිමීටර 35-40 දක්වා ගැඹුරට සීසෑම සිදු කළ යුතු අතර පස් කැට පොඩි කිරීම කළ යුතුය. පාත්තියක පළල සෙන්ටිමීටර 105 ක් වන අතර දිග වෙනස් විය හැක. කෙසේ වෙතත්, පොල් සමග මිශ්‍රව වගා කරන්නේ නම් පවතින ඉඩ ප්‍රමාණය අනුව පාත්තිවල පළල හා දිග වෙනස් කළ හැකිය. පාත්තියෙහි උස සෙන්ටිමීටර 22 ක් පමණ වන ලෙසත් පාත්ති දෙකක් අතර කාණුව 45cm පළලකින් යුක්ත වන ලෙසත් පාත්ති සකස් කළ යුතුය.

පරතරය –   පේළි අතර – සෙන්ටිමීටර් 25
පැල අතර – සෙන්ටිමීටර් 25
පාත්තියකට පේළි 04
රෝපණ ගැඹුර – සෙන්ටිමීටර් 4-10

වර්ෂාවෙන් පසු රෝපණය කළ යුතුය. පාත්තිවල ප්‍රමාණවත් තෙතමනය නොමැති නම් ජල සම්පාදනය කළ යුතුය.

බෝග කළමනාකරණය

තෙතමනය ආරක්ෂා කිරීම සහ වල් පැලෑටි මතුවීම වැලැක්වීම සඳහා ක්ෂේත්‍ර සිටුවීමෙන් පසු වහාම වසුන් යෙදීම කළ යුතුය. පිදුරු, කොහු බත්, වියළි කොළ හෝ පොල් කොළ වඩාත් සුදුසු වසුන් ද්‍රව්‍ය වේ.

පොහොර යෙදීම

ඉගුරු වගා කරන පසෙහි පී.එච්. අගය 5ට අඩු වූ විට ඩොලමයිට් යෙදිය යුතුය. හෙක්ටයාරයකට ඩොලමයිට් ටොන් 1-2 පමණ සෑහේ.  ඩොලමයිට් යෙදිය යුත්තේ ඉගුරු සිටුවීමට සති දෙකකට පමණ පෙරය. ඩොලමයිට් පසට යොදා හොදින් කවලම් කල යුතු අතර කිසිවිටෙකත් රසායනික පොහොර සමග එකවර නොයෙදිය යුතුය.

පොහොර නිර්දේශය

වල් නෙලීමෙන් පසු පොහොර යොදන අතර පස සමඟ මිශ්‍ර කර වසුන් යෙදීම කළ යුතුය. පොහොර වැසි සමඟ යොදනු ලැබේ. නැතහොත් පොහොර යෙදීමෙන් පසු ජලය සැපයිය යුතුය. ඊට අමතරව ග්ලිසරීඩියා කොළ කාබනික පොහොර ලෙස එකතු කළ හැකි අතර එමඟින් රසායනික පොහොර අවශ්‍යතාවය අඩු කර පාංශු තෙතමනය ආරක්ෂා කර ගත හැකිය.

වල් නෙලීම

පැළ සිටුවීමෙන් මාසයකට පසු වල් නෙලීම සිදු කළ යුතුය. දෙවන වල් නෙලීම රෝපණය කර මාස තුනකට පසුව සිදු කරන අතර තෙතමනය ආරක්ෂා කිරීම සඳහා පාත්ති නැවත වසුන් කළ යුතුය. කාණු පිරිසිදු කිරීම හා පස පෙරලීම ද වල් නෙලීම සමඟ සිදු කෙරේ.

වගුව 1- ඉගුරු සදහා පොහොර නිර්දේශය (කි.ග්‍රෑ/හෙක්)

කාලයකාබනික පොහොරයූරියා (කි.ග්‍රෑ)TSP (කි.ග්‍රෑ)MOP (කි.ග්‍රෑ)
මූලික පොහොර වගාව ආරම්භයේ දීමෙ.ටො.20 100
පළමු යෙදීම – මාස 01 කට පසුව8242
දෙවන යෙදීම – මාස 03 කට පසුව 8242

වගුව 2- අඩි 3 ½ x10 පාත්තියකට යෙදිය යුතු පොහොර (ග්‍රෑම්)ප්‍රමාණය

කාලයකාබනික පොහොරයූරියා (කි.ග්‍රෑ)TSP (කි.ග්‍රෑ)MOP (කි.ග්‍රෑ)
මූලික පොහොර වගාව ආරම්භයේ දී10-12kg50
පළමු යෙදීම – සිටුවා දින 45 කට පසුව4121
දෙවන යෙදීම – සිටුවා දින 90 කට පසුව 4121

බෝග ආරක්ෂණය

ඉඟුරුවල දැකිය හැකි රෝග
1. මෘදු කුණුවීම
2. බැක්ටීරියා මැලවීම
3. පත්‍ර ලප

1. මෘදු කුණුවීම
රෝගකාරකයා – Pythium Spp
රෝග ලක්ෂණ

  • ව්‍යාජ කඳේ තෙත පැල්ලම් ඇතිවීම.
  • රෛසෝමය මෘදු තත්ත්වයට පැමිණ කුණු වී යන අතර පසුව එම රෝග ලක්ෂණ ක්‍රමයෙන් මුල්වලට පැතිර යයි.
  • ආරම්භක අවධියේදී පත්‍ර අග්‍රයෙන කහ පැහැය ආරම්භ වන අතර පත්‍ර දාරය දිගේ පැතිරී යයි. රෝගය මුල් අවධියේදී පත්‍ර තලය මැද කොළ පාට වන අතර දාර කහ පැහැයට දක්නට ලැබේ.
  • රෝගය උත්සන්න වන අවස්ථාවල දී, සියලු පත්‍ර වල කහපාට රෝග ලක්ෂණ දක්නට ලැබේ.

පාලනය

  • නිරෝගී රෛසෝම රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කිරීම.
  • බීජ ප්‍රතිකාර: බීජ රෛසෝම මැන්කෝසෙබ් 80% WP ග්‍රෑම් 30ක් ජලය ලීටර් 10ක දියකර ලැබෙන ද්‍රාවනයේ විනාඩි 30ක කාලයක් ගිල්වා පවනේ වේලාගැනීමෙන් පසු ක්ෂේත්‍රයේ සිටුවීම.
  • පැළ සිටුවීමට පෙර පාත්ති සූර්යතාපන ප්‍රතිකාර කිරීම.
  • නිසි ජල වහනයක් සහිත ක්ෂේත්‍රයක් තෝරා ගැනීම.
  • ආසාදිත ශාක ඉවත් කරන්න – නිසි සනීපාරක්ෂාව පවත්වා ගන්න.
  • ආසාධිත කොටස් ක්ෂේත්‍රයෙන් ඉවත්කිරීමෙන් පසුව මැන්කොසෙබ් 80% WP (ග්‍රෑම් 38ක් ජලය ලීටර් 10ක) ද්‍රාවනය රෝගී සහ අවට ඇති නීරෝගී පාත්ති හොදින් තෙමෙනසේ මල් බාදියක ආධාරයෙන් යොදන්න. මෙම ප්‍රතිකාරකය නැවත සති 02 කට පසුව යොදන්න.

2. බැක්ටීරියා මැලවීම
රෝගකාරකයා: Ralstonia solanecearum

රෝග ලක්ෂණ:

  • මුල් අවධියේ රෝග ලක්ෂණ ලෙස ව්‍යාජ ක‍ඳ පාදස්ථයේ තෙත පැල්ලම් දැකිය හැකිය. මෙම රෝග තත්ත්වය පාදස්ථයේ සිට ව්‍යාජ කඳ දක්වා ඉහළටත්, රෛසෝමය දක්වා පහළටත් පැතිර යයි.
  • මූලිකවම ඇසට පෙනෙන රෝග ලක්ෂණය වන්නේ සුළු වශයෙන් ව්‍යාජ කඳ කඩා වැටීම සහ පත්‍ර හැකිලී යාමයි. මෙය පහළ පත්‍රවල සිට ක්‍රමයෙන් ඉහළ පත්‍රවලට පැතිරේ. රෝගය උග්‍ර අවස්ථාවල පඳුරුවල තද කහ පාට වීම සහ මැළවීමත් දැකිය හැක.
  • ආසාදිත ව්‍යාජ කඳ සහ රෛසෝම කැබලි ඇඟිලි දෙකකින් තද කිරීමෙන් සුදු පාට ස්‍රාවයක් පිටතට එනු දැකිය හැකිය. මෙය රෝගකාරක බැක්ටීරියාව අඩංගු ස්‍රාවයයි. ආසාදිත කොටස් වලින් සැර ගඳක් වහනය වේ.

පාලනය

රසායනික නොවන මර්ධන ක්‍රම
  • රෝපණය සඳහා නිරෝගී බීජ අල පමණක් භාවිතා කල යුතුය.
  • බීජ සිටුවීමට පෙර සූර්යතාපය මගින් වගා භූමිය ජීවානුහරණය කල යුතුය.
  • එක දිගට කන්න දෙකකට වඩා ඉඟුරු සිටවූ වගා භූමි නැවත වගාව සඳහා නුසුදුසු වන අතර පෙර කන්නයේ රෝගය වාර්තා වී ඇත්නම් බෝග මාරුවකට යා යුතුය.
රසායනික මර්ධන ක්‍රම
  • ක්ෂේත්‍රයේදී රෝගී ඉඟුරු පඳුරු නිරීක්ෂණය වූවොත්, එම පඳුරු පස් සමග ක්ෂේත්‍රයෙන් ගලවා ඉවත් කල යුතුය.
  • කොපර් ඔක්සි ක්ලෝරයිඩ් 50% ඩබ්. පී. දිලීර නාශකයකින්  ග්‍රෑම් 40 ක් වතුර ලී‍ටර් 10 ක දියකර ලැබෙන මිශ්‍රණයෙන් හෝ 1% බෝඩෝ මිශ්‍රණය ක්ෂේත්‍රයේ ඇති සියළුම පාත්ති හොඳින් තෙමෙන සේ මල් බාල්දියක ආධාරයෙන් යොදන්න. මෙම ප්‍රතිකාරකය සති දෙකකට පසුව නැවත සිදු කරන්න.

 3. පත්‍ර ලප රෝග
රෝගකාරකයා: Phylosticata zingiberi

රෝග ලක්ෂණ:

  • පත්‍රවල ඇතිවන ලප තෙත පැල්ලම් ලෙස රෝගය මුල් අවධියේ දැකිය හැක. පසුකාලීනව මෙම පැල්ලම් සුදු පාට පැල්ලම් ලෙස දිස්වන අතර, එම පැල්ලම් වටා දුඹුරු පැහැති දාරයක් දක්නට ලැබේ.
  • දාරයට පිටතින් රෝගය සක්‍රියව වර්ධනය වන ප්‍රදේශ කහ පාටින් දිස්වන අතර පසුකාලීනව එකින් එක එකතු වී පත්‍ර අංගමාර ලක්ෂණ ඇති වී පත්‍ර වියළී යයි.

පාලනය

  • කඩින් කඩ ඇතිවන සුළු වැහි තත්ත්ව වලදී වැසි බිංදු මගින් රෝග බීජානු පැතිර යයි. එබැවින් වැසි කාලයට පෙර ආරක්ෂිත ක්‍රමයක් ලෙස 1% බෝඩෝ මිශ්‍රණය යෙදීම නිර්දේශ කෙරේ.
  • රෝගය ක්ෂේත්‍රයේ වාර්තා වී ඇත්නම් රෝගී කොටස් කපා ක්ෂේත්‍රයෙන් ඉවත්කොට පුළුස්සා දමන්න. පසුව මැන්කොසෙබ් 80% ඩබ්පී දිලීර නාශකයෙන් ග්‍රෑම් 25 ක් වතුර ලීටර් 10 ක දියකර ලැබෙන මිශ්‍රණයෙන් පත්‍ර හොඳින් තෙමෙන සේ ඉසීම මගින් රෝගය පාලනය කරගත හැක.
  • මෙම ප්‍රමාණය 4 x 10 ප්‍රමාණයේ පාත්ති 5 කට සෑහේ.

ඉඟුරු පළිබෝධකයෝ

කඳ විදින්නා Dichocrocis puncitiferalis

  • කඳ විඳින්නාගේ හානිය නිසා ඉඟුරු  පඳුරු කහ පාට වීම, ලපටි දල්ල (ගොබය)   මැරී යාම සහ පසුව මුළු පඳුරම මැරී යාම සිදුවේ.
  • කඳ විදින්නාගේ කීටයන් කඳ තුලට ඇතුලු වී , ඇතුලත කොටස් ආහාරයට ගැනිම නිසා ජලය හා පෝෂක ද්‍රව්‍ය  ඉහලට ගමන්  කිරිම  අපහසු වන බැවින් මෙසේ කහ පාට වී  මැරී යාම සහ දල්ල මැරී යාම සිදුවේ.
  • කීටයන් කද තුල සිටින විට කඳ සිදුරු කල  තැන් වලින් අපද්‍රව්‍ය එළියට පැමිණීම දක්නට ලැබේ.

පාලනය

  • හානිය පාලනය කිරීම සඳහා වගාව නිතර පරීක්ෂා කර මුල් අවස්ථාවේදීම හානිය හදුනා ගන්න. කෙෂ්ත්‍රය පිරිසිදුව තබා ගන්න.
  • මළ ගොබ සහ සිදුරු සහිත කහ වී මැරී යන පඳුරු  ගලවා ,ගිනි තබා විනාශ කරන්න
  • සති 2කට වරක් මෙම පඳුරු ගලවා ගිනි තබා විනාශ කිරීම සිදු කල යුතුය. රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් තොරව,  මෙම ක්‍රමයෙන්   පහසුවෙන්ම හානිය පාලනය කළ හැක. සියලුම ආසාදිත ශාක කොටස් ඉවත් කර නිසි සනීපාරක්ෂාව පවත්වා ගන්න.

කොරපොතු කෘමීන්: Aspidiella hartii

  • ඉඟුරු අල මතුපිට මෙම කෘමින් සමූහ ලෙස ජීවත් වේ. ඉඟුරු අලයට ඇලී සිටිමින් නොසෙල්වී යුෂ උරා බීම සිදු කරයි. මේ නිසා අල විජලනයට පත්වී ඇකිලී මෑලි වී යයි. මෙම අල පැල වීම ඉතා අඩුය.
  • පැල අවධියේදී මෙම හානිය ඇති වූ විට පදුරෙහි ඇතිවන   කඳන් සංඛ්‍යාව අඩුවේ. පඳුරේ වැඩීම අඩුවේ.
  • එමෙන්ම ඉඟුරු පඳුරු කහ පාට වීම බහුලවම දක්නට පුඑවන්. ක්‍රමයෙන්  ඉඟුරු පඳුරු වියලී මැරී යාම සිදුවේ.

පාලනය

  • හානිය පාලනය කිරීම සඳහා සි‍ටුවීමට නීරෝගී බීජ අල තෝරාගන්න. තෝරාගත් බීජ අල සුදුසු කෘමිනාශකයක ගිල්වා තබා, කෙෂ්ත්‍රයේ සිටුවිම සදහා ගත යුතුය. 
  • ඒ සදහා තයෝමෙතොක්සාමි 25% කැට ග්රැම් 5ක් ,ජලය ලීටර් 10ක දිය කර මිශ්‍රනය  සාදා ඉගුරු බීජ අල විනාඩි 10ක් ගිල්වා තබන්න. එසේම ඉමිඩාක්ලොප්රිඩ් 70% කැට ග්රෑම් 2.5ක් ,ජලය ලීටර් 10ක් දිය කර සාදා ගන්නා මිශ්‍රනය  බීජ ඉඟුරු අල සදහා භාවිතා කල හැකිය.
  • ඉඟුරු බීජ අල කිලෝ ග්‍රෑම් 9 ක් පමන, සකස් කරගත් මෙම රසායනික ද්‍රව්‍ය මිශ්‍රනය තුල ගිල්වා තැබිය හැකිය. එක් වරක් භාවිතා කර ඉතිරි වන මිශ්‍රනය නැවත වරක් භවිතා කිරීම සුදුසු නැත.

අස්වනු හා පසු අස්වනු පිළිවෙත්

අස්වනු නෙලීම සිදු කරනුයේ සිටුවීමෙන් මාස 8-10 කට පසුවය. මාර්තු-අප්‍රේල් කන්නයේ සිටුවන්නේ නම් දෙසැම්බර් – ජනවාරි වන විට ඉඟුරු අස්වැන්න නෙළා ගැනීමට හැකි වේ. එම කාලය තුළ ශාක කහ පැහැයට හැරී කොළ වියළීමට පටන් ගනී. අස්වනු නෙළීම සිදු කරනු ලබන්නේ රයිසෝමවලට හානි නොවන ලෙසය. රයිසෝමවල ඇති පස් කොටස් ලී කැබැල්ලකින් ඉවත් කළ යුතුය.

අස්වනු නෙලීම

අස්වනු නෙලීම සිදු කරනුයේ සිටුවීමෙන් මාස 8-10 කට පසුවය. මාර්තු-අප්‍රේල් කන්නයේ සිටුවන්නේ නම් දෙසැම්බර් – ජනවාරි වන විට ඉඟුරු අස්වැන්න නෙළා ගැනීමට හැකි වේ. එම කාලය තුළ ශාක කහ පැහැයට හැරී කොළ වියළීමට පටන් ගනී. අස්වනු නෙළීම සිදු කරනු ලබන්නේ රයිසෝමවලට හානි නොවන ලෙසය. රයිසෝමවල ඇති පස් කොටස් ලී කැබැල්ලකින් ඉවත් කළ යුතුය.

නිෂ්පාදන ගබඩා කිරීම

ඉගුරු නිෂ්පාදන ගබඩා කරනවිට වියලි සිසිල් ස්ථානයක ලී රාමු මත ගබඩා  කළයුතුය. ගබඩාව සෑමවිටම කෘමිසතුන්, වෙනත් ගබඩා සතුන් හා අපද්‍රව්‍ය,  දුවිලිවලින් තොර වියයුතුය. ගබඩාව තුළ   ආර්ද්‍රතාවය 60% පමණ හා හොදින් වාතාස්‍රය ලැබෙන සේ පවත්වා ගතයුතුය. ගබඩාවේදී නිෂ්පාදන නිෂ්පාදිත දිනය හා වර්ගය අනුව වෙන වෙනම ගබඩා කළ යුතුය.

අස්වැන්න සැකසීම

සේදීම, පොතු හැරීම සහ විරංජනය යන ක්‍රියාකාරකම් ඉගුරු සැකසීමේ ප්‍රාථමික කාර්යයන් වේ.

  • සේදීම

මෙහිදී ඉගුරු අලවල ඇගිලි අතර රැදී ඇති පස් සහ වැළි හොදින් සෝදා ඉවත් කල යුතුය.අමු ඉගුරු ලෙස වෙළදපොළට ඉදිරිපත් කරන්නේ නම් දිනක් පමණ පවනේ වේලා පසුව ගෝනි හෝ පොලිසැක් මලු වල බහා වෙළදපොළට නිකුත් කල හැක.

  • පොතු ඉවත් කිරීම

සාර්ථක වියළීමක් සදහා ඉගුරු අලවල පොතු ඉවත් කිරීම අත්‍යාවශ්‍ය වේ.ඉගුරු අල එක් රැයක් ජලයේ පෙගවීමෙන් පොතු ඉවත් කිරීම වඩාත් පහසුය. ඉගුරු වල රසායනික සංඝටක බහුලව ඇත්තේ අලයේ මතුපිට පෘෂ්ඨයට ආසන්න ෛසලවල බැවින් ප්‍රවේශමෙන් පොත්ත ඉවත් කල යුතුය.

  • වියළීම

පොතු ඉවත් කල රෛසෝම තෙතමනය 12% පමණ තෙක් වියළීමට සතියක පමණ කාලයක් ගතවේ. වියලා ගත් ඉගුරු ඒවායේ උණුසුම අඩු වූ පසු පොලිප්‍රෝපිලින්  මලුවල බහා පොලිසැක් මලුවල අසුරා ගබඩා කල යුතුය.

ඉගුරු නිෂ්පාදන

  • වියළි ඉගුරු
  • විරංජනය කල ඉගුරු
  • ඉගුරු පෙති
  • ඉගුරු කුඩු

සංරක්ෂණය කරන ලද ඉගුරු

  • රස කල ඉගුරු පෙති
  • සැකසූ ඉගුරු
  • ඉගුරු අච්චාරු
  • ඉගුරු පල්පය

අගය එකතු කල නිෂ්පාදන

  • ඉගුරු තෙල්
  • ඔලියෝරෙසින

ඖෂධීය හා රසායනික ගුණාංග

මිනිසා අතීතයේ දී ඉඟුරු ඖෂධයක් ලෙස භාවිතා කර ඇති බවට සනාථ වී ඇත. බොහෝ ආයුර්වේද ප්‍රතිකර්ම වල ඉඟුරු ප්‍රධාන අමුද්‍රව්‍යයකි. සාමාන්‍ය  ඉන්ෆ්ලුවෙන්සා තත්වයන් සඳහා පමණක් නොව එය අධි රුධිර පීඩනය හා පිළිකා සඳහා ද ඖෂධයක් ලෙස ක්‍රියා කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න