කහ

කහ

Curcuma longa L
කුලය : Zingiberaceae

කහ බෝගයේ සම්භවය දකුණු හා ගිණිකොන දිග ආසියානු රට වල සිදු වුනු අතර වර්තමානයේ සමස්ත කහ නිෂ්පාදනයෙන් 75% පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියාවේය. මීට අමතරව  බංග්ලාදේශය, පකිස්තානය, තායිලන්තය, චීනය, මියන්මාරය, ඉන්දුනීසියාව, ජැමෙයිකාව, හයිටි, පේරු සහ ශ්‍රී ලංකාව යන රටවල්ද කහ වගා කරනු ලබයි. කහ ප්‍රධාන වශයෙන් ආනයනය කරනු ලබන්නේ ඉරානය ඇතුළු මැද පෙරදිග රටවල්, උතුරු හා දකුණු අප්‍රිකානු රටවල්, යුරෝපය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය හා මැලේසියාවයි.

ශ්‍රී ලංකාව තුළ 2018 සංඛ්‍යාලේඛන  දත්ත වලට අනුව වාර්ෂික වියලි  කහ පාරිභෝජනය 7000mt – 7500mt පමණ වන අතර නිෂ්පාදනය 1800 mt පමණ වේ. ඒ අනුව 5000 mt වැඩි වියළි කහ ප්‍රමාණයක්  වාර්ෂිකව ආනයන කර ඇති බව පැහැදිලි වේ. ශ්‍රී  ලංකාව තුළ කහ ප්‍රධාන වෂයෙන් අහාර පිළියෙල කිරීමේදී වර්ණකාරකයක් සහ කුළුබඩු මිශ්‍රණ  වල සංඝටකයක් ලෙස භාවිතා කරන අතර ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදීද රුපලාවන්‍ය කටයුතු වලදීද වැදගත් අමුද්‍රව්‍යක් ලෙසද යොදාගනී. මීට අමතරව සායම් නිෂ්පාදනයේදීද වර්ණ ගැන්වීමටද විෂබීජ නාශකයක් ලෙසද කහ වැදගත් කාර්යක් ඉ‍ටු කරයි. හින්දු භක්තිකයන්ගේ ආගමික කටයුතු වලදීද බහුලව කහ මිශ්‍ර දියර යොදා ගනු ලබයි. ඒ අනුව බලන විට අපගේ එදිනෙදා කටයුතුවලදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍යක් ලෙස කහ හැදින්විය විය හැක.

කහ ශාකයේ උද්භිත විද්‍යාත්මක ලක්ෂණ

කහ ශාකය භූගත රෛසෝමයකින් අඩි 3 – 4  උසට වැඩෙන පළල් පත්‍ර සහිත ව්‍යාජ වායව කදකින් සමන්විත වේ. ව්‍යාජ කදේ පත්‍ර  6-10  ක් පමණ හට ගනී. පත්‍රයක දිග අඩි 1.5- 2 ක් පමණ වන අතර තද කොළ පාටය. පත්‍ර වල අග්‍රස්ථ කෙළවර පාදස්ත කෙළවරට වඩ පළල්ය. ශල්ක පත්‍ර  සහිත භූගත කද සත්‍ය  කද වන අතර එහි සංචිත ආහාර අඩංගු වේ. ප්‍රධාන භූගත කදෙන් ශාඛා ලෙස කහ අල හට ගනී. වානිජව අස්වැන්න ලෙස ලබා ගන්නේ මෙම අලයි. රෛසෝමයේ අභ්‍යන්තරය තද තැබිලි පැහැයේ සිට කහ පැහැයක් ගන්නා අතර කහ වලට ආවේණික වූ සුවදක් සහ රසයක් ඇත. මාංශලමය වූ මුල් රෛසෝමයෙන් හට ගනී. පුශ්ප මංජරිය පාදස්තයෙන් හට ගන්නා අතර පුෂ්ප ලා කහ පාටකින් යුක්ත වේ. ඵලය ස්පෝටිකාවකි.

නිෂ්පාදන සහ ප්‍රයෝජන

කහ සම්පූර්ණ වියළි ස්වරූපයෙන් හෝ කුඩු ආකාරයෙන් වෙළඳපොලේ තිබේ. ව්‍යංජන මිශ්‍රණය සකස් කිරීමේදී එය අමුද්‍රව්‍යයක් ලෙසද භාවිතා කරයි. කහ වලින් තෙල් හා ඔලියෙරොසීන් නිස්සාරණය කරනු ලබන අතර එය ප්‍රධාන වශයෙන් ආහාර කර්මාන්තයේ වර්ණක හා රසකාරකයක් ලෙස භාවිතා කරයි. රෙදිපිළි වල වර්ණ ගැන්වීම සහ විශේෂිත තීන්ත සකස් කිරීම සඳහා ද එය භාවිතා වේ. ආයුර්වේද හා චීන වෛද්‍ය විද්‍යාවේ කහ යනු පොදුවේ භාවිතාවන අමුද්‍රව්‍යයකි. බොහෝ දුරට එදිනෙදා ජීවිතයේ දි විෂබීජ නාශකයක් ලෙසත් ආගමික උත්සවවලදීත් ඉන්දියානුවන් කහ භාවිතා කරයි.

පාංශු සහ දේශගුණික අවශ්‍යතා

පස

මුහුදු මට්ටමේ සිට මීටර 1,500ක් දක්වා උස් ප්‍රදේශවල කහ වගා කළ හැකිය. තව ද වියලි කලාපයේ ජල සම්පදාන තත්වයන් යටතේද කහ වගා කළ හැකි වේ. වාර්ෂික වර්ෂාපතනය. මි.මී 1500ක් හෝ ඊට වැඩි ප්‍රමණයක් අවශ්‍ය වන අතර  මනා වර්ධනයක් සදහා සුදුසු පරිසර උෂ්නත්වය 20-35 C  අතර වේ විවිධ පස් වර්ග වල කහ වගා කළ හැකි වුවත් මනා ජල වහනයක් ඇති කාබනික ද්‍රව්‍ය සහිත වැලි ලෝම පස ඉතා යෝගය වේ. දුර්වල ජල වහනයක් සහිත පස්, ගල් බොරලු අදික පස් සහ මැටි පසද  කහ වගාවට සුදුසු නොවේ. පසෙහි පී.එච්. අගය 5.5-6.5ක් වීම වඩාත් උචිත වේ. තෙත් කලාපයේ කහ වගා කරනු ලබන්නේ යල කන්නයේ වැසි සමග මාර්තු හෝ අප්‍රේල්  මාසවලදීය. එනමුත් දිවයිනේ සමහර ප්‍රදේශවල විශේෂයෙන් වියළි ප්‍රදේශ  වල, මහ කන්නයේ වර්ෂාවත්  සමග සැප්තැම්බර්, ඔක්‍තෝබර්, නොවෙම්බර් මාස වලදීද වගා කෙරේ. කහ බෝගය හිරු එළිය සදහා වැඩි කැමැත්තක් දැක්වුවත් බහුලව වගා කරනුයේ මද සෙවන තත්වයක් ඇති ගෙවතු හා පොල් කෙසෙල් වැනි බෝග සමග අතුරු බෝගයක් ලෙසටය. අධික සෙවන, බෝගයේ අස්වැන්න අඩුවීම කෙරෙහි බලපානු ඇත. කහ වගාව වෙනත් වාර්ෂික බෝග සමග ශෂ්‍ය  මාරු ක්‍රමයට වගා කිරීමෙන් දීර්ඝ කාලීනව වැඩි අස්වනු ලබාගත හැක.

බෝග ස්ථාපනය

රෝපණ ද්‍රව්‍ය

මව් රයිසෝම සහ ඇගිලි රයිසෝම ලෙස රයිසෝම වර්ග දෙකක් කහ වල දක්නට ලැබේ. මේරූ ඇගිලි රයිසෝම සුදුසු රෝපණ ද්‍රව්‍යවේ. රයිසෝම කෑල්ලක බර ග්‍රෑම් 30-35 ක් විය යුතු අතර අංකුර 1-2 ක් තිබිය යුතුය. රෝපණ ද්‍රව්‍ය රෝග වලින් තොර විය යුතු අතර ඉහල අස්වැන්නක් ලබා ගත හැකි වගාවකින් ‍තෝරා ගත යුතුය. සි‍ටුවීමට පෙර, රයිසෝම දිලීර නාශකයක (මැන්කොස්බ් 30g ක් ජලය 10Lක දියකර ) මිනිත්තු 30 ක් පමණ ගිල්වා තැබිය යුතුය.

ක්ෂේත්‍රය සකස් කිරීම සහ සිටුවීම

කහ ක්ෂේත්‍රයේ සි‍ටුවීමේදී බිම හොදින් කොටා පස පෙරලා, කැට පොඩි කර යුතුය. ඉන්පසු පලල අඩි  4ක් වන අයුරින් අගල් 9ක් උසට පාත්ති සකස් කර ගත යුතුය. නිදේශිත දිග අඩි 10ක් වන නමුත් එය පවතින ඉඩ අනුව වෙනස් වේ.

අඩි 4 ක් පළල අඩි 10ක් දිග පාත්තියක් සදහා හොදින් දිරු ගොම පොහොර හෝ කොම්පෝස්ට් කිලෝ ග්‍රෑම් 5ක් සහ ට්‍රිපල්  සුපර් පොස්පේට් (TSP) ග්‍රෑම් 50ක් යොදා හොදින් මිශ්‍ර කර ගත යුතුය. පාත්ති අතර අඩියක පමණ කාණුවක් තිබීම ප්‍රමාණවත්වේ. බීජ රයිසෝම පාත්ති වල සි‍ටුවීමේදී පැල අතර හා පේළි අතර අඩියක පමණ පරතරයකින් සි‍ටුවීම සිදු කලයුතු අතර බීජ අල අගල් 2, 3 ක් පමණ පසට යට කල යුතුය.

බීජ අල සි‍ටවා  පිදුරු, දහයියා, ග්ලිසීරියා හෝ වෙනත් වියළි කොල වර්ග යොදා ගනිමින් පාත්ති වසුන් කල යුතුය. වසුන් කිරීම නිසා පසෙහි තෙතමනය ආරක්ෂා වීම, බීජ ප්‍රරෝහනය සදහා යෝග්‍ය  උෂ්ණත්වයක් ඇති වීම, වල් පැල මර්දනය වීම සිදුවේ.

පොහොර නිර්දේශය

අඩි 4*10 පාත්තියක් සදහා ……..

මූලික පොහොර ලෙස ……

ගොම පොහොර හෝ කොම්පෝස්ට් = කිලෝග්‍රෑම් 5         
ට්‍රිපල්  සුපර් පොස්පේට් (TSP) = ග්රෑම් 50

සිටවා දින 45 ට පසු

            යූරියා  ග්‍රෑම්  = 32.5
            M.O.P.   ග්‍රෑම් =  50

සිටවා දින 90 ට පසු

            යූරියා  ග්‍රෑම්  = 32.5
            M.O.P.   ග්‍රෑම් = 50

පොහොර යෙදීමට පෙර වල් නෙලීම සිදු කළ යුතු අතර පසෙහි ප්‍රමාණවත් තෙතමනයක් තිබිය යුතුය. ඉන් පසු වසුන් කල යුතුයි.

වල් නෙලීම

කහ වගා කිරීමෙන් මාසයකට පසු වල් නෙලීම සිදු කළ යුතුය. දෙවන වල් නෙලීම රෝපණයෙන් මාස තුනකට පසුව සිදු කරන අතර තෙතමනය ආරක්ෂා කිරීම සඳහා කහ වගා කිරීමේදී මුල් මාස 3 න තුලදී හොදින් වල් නෙලීම කල යුතුය. ඉන් පසු කහ ශාකය වර්ධනයත්  සමග වල් පැලැටි ක්‍රමයන් අඩු විම සිදුවේ. කාණු ගොඩ කිරීමද ඒ සමග කලයුතුය.

පොලිසැක්  මලු වල කහ වගා කිරීම

ඉවතලන පොලිසැක් මලු හොඳීන් පිරිසිදු කර කහ වගාවට සඳහා යොදා ගත හැකිය. සීමිත ඉඩක් ඇති නාගරික ප්‍රදේශවල කහ වගාව මෙමඟින් පහසුවෙන් සිදු කර ගත හැකියි. එසේම බෝග නඩත්තු කිරීමද ඉතා පහසු වේ. මිට අමතරව ජලය යෙදීම, වල් මර්දනය, පොහොර යෙදීම කාර්යක්ෂමව සිදු කිරීමට හැකි වේ. පොලිසැක් මලුවල කහ වගා කිරීමේදී  කිලෝ ග්‍රෑම් 50 හෝ කිලෝ ග්‍රෑම් 25 මලු මේ සදහා වඩා සුදුසු වේ.

මීට අමතරව  කිලෝග්‍රෑම් 5, 10 කුඩා පොලිසැක්මලුවලද වගා කළ හැකි වුවත් පොලිසැක්  බෑගය කුඩා වනවිට කහ අල හෙවත් රෛසොම හටගැනීමට ප්‍රමාණවත් ඉඩක් නොමැති වීම නිසා අස්වැන්න අඩු වේ. පොලිසැක් මලුවල කහ වගා කිරීමේදී යොදා ගන්නාමලු  මාස 10 ක් පමණ තබා ගැනීමට අවශ්‍ය වේ. වගාමලුවලත් (growbag) සාමාන්‍ය පොලිතීන් උරවලත්  කහ වගාකළ හැකිය. පොලිතීන් උරවල කහ වගා කිරීමේදී යොදන වැඩිපුර ජලය පහසුවෙන් ගලා යාමට පොලිතීන් උරයේ ප්‍රමාණවත් සිදුරු සකස් කිරීම ඉතා වැදගත් වේ. නමුත් ඔබ කහ වගා කරන්නේ පොලිසැක් මලුවල නම් මේ සඳහා අමතර සිදුරු සකස් කිරිමක් අවශ්‍ය නොවේ.

මෙහිදී භාවිතා කරන  බදුන් මිශ්‍රණය ඉතාම වැදගත් වේ. ගොම, වැලි, කොහුබත් සහ මතුපිට පස් සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කර බඳුන් මිශ්‍රණය සකසා ගන්න. පොලිසැක් බෑගයේ උස බාගයක් වන සේ බෑගය දෙකට නවා ගන්න. ඉහත බඳුන් මිශ්‍රණය නවාගත් පොලිසැක් මළු වල ඉහල දාරයේ සිට  අඟල් 6ක් ඉතිරි වන තෙක් පුරවා ගන්න. පුරවා ගත් බඳුනට ටී.එස්.පී. (ට්‍රිපල් සුපර් පොස්පේට්) ග්‍රෑම්10ක් එකතු කර මිශ්‍ර කර ගන්න.  බීජ අල පොලිසැක් බෑගයක් තුළ ත්‍රිකෝණාකාර ලෙස සම දුරින් සැකසූ වලවල් තුනක  (අගල් 3 – 4ක් ගැඹුරට) ග්‍රෑ.30-35ක් එක වලකට වැටෙන ලෙස සිටුවා ගන්න. මෙසේ කහ පැළ කර ගත් පොලිසැක් බෑගයකින් මාස 10 න් පමණ ගත වු විට  අස්වනු නෙලා ගත හැක.

පළිබෝධකයන්

කඳ විදින්නා

කහ වගාවට බලපාන ප්‍රධාන පළිබෝධකයා වන්නේ කද විදින්නාය. වැඩිහිටි සලබයා කොළ කොපුවල බිත්තර දමන අතර දළබුවා ව්‍යාජ කදට ඇතුල්වී ශාකයේ අභ්‍යන්තර පටක වලට හානි කරයි. පළමුව ශාක පත්‍ර කහ පැහැයට හැරි පසුව දුබුරු පැහැයට හැරි ශාක මිය යයි.

අස්වනු හා පසු අස්වනු පිළිවෙත්

අස්වනු නෙලීම

අස්වනු නෙලීම සිදු කරනුයේ සිටුවීමෙන් මාස 9 කට පමණ පසුවය. මාර්තු – අප්‍රේල් කන්නයේ කහ සිටුවන්නේ නම් දෙසැම්බර් – ජනවාරි වන විට අස්වැන්න නෙලා ගැනීමට හැකි වේ. එම කාලය තුල ශාක කහ පැහැයට හැරී කොළ වියලීමට පටන් ගනියි. අස්වනු නෙලීම සිදු කරනු ලබන්නේ රෛසෝම වලට හානි නොවන ලෙසයි. රෛසෝම වල ඇලී ඇති පස් කොටස් ප්‍රවේශමෙන් ඉවත් කල යුතුයි.

සැකසීම

රෛසෝම හෙවත්  කහ අල වල මුල් කොටස් කපා ඉවත් කොට පස් ඉවත් වන තුරු හොඳින් සෝදා මව් අල සහ ඇඟිලි අල වෙන් කල යුතුයි. රෛසෝම වැසෙන තුරු ජලය යොදා ඇඟිලි අල මිනිත්තු 30 කුත්, මව් අල මිනිත්තු 45 කුත් තම්බා ගත යුතුයි. නිසි ලෙස තම්බා ගත් විට රෛසෝම මෘදු වේ. නිසි පරිදි තැම්බි ඇති බව පරික්ෂා කර ජලය වෙනුවට වාෂ්පයෙන්ද තම්බා ගත හැක. කහ කිලෝග්‍රෑම් කිහිපයක් තම්බා ගැනීමට පීඩන උදුන ද භාවිතා කල හැක. තම්බා ගත් කහ දින කිහිපයක් පවනේ වියලා ගත යුතුයි. උදැසන 11.00 ත් 2.00 ත් අතර තද හිරු එළිය නොවැටෙන පරිදි මුල් දින තුන සෙමින් වියලීම සිදු කල යුතුයි. ඉන්පසුව අඛණ්ඩව හිරු එළියේ වියලීම කල යුතුයි. සම්පුර්ණ වියළීමේ ක්‍රියාවලියට දින 10 ක් පමණ  අවශ්‍ය වේ. නිසි ලෙස වියලූ කහ සොලවන විට ලෝහමය ශබ්දයක් ඇසේ. දීප්තිමත් කහ පැහැයක් ලබා ගැනීමට වියලි රෛසෝම රළු මතුපිටක අතුල්ලනු ලැබේ. මේ සඳහා සුදු යකඩ වලින් තැනු කහ පොලිෂ් කරන යන්ත්‍රය ද භාවිතා කල හැක.

ප්‍රමිතිගත ගුණාත්මක පිරිවිතර

  • තෙතමනය 9%
  • කර්ක්‍යුමින් 4-7 %
  • ආගන්තුක ද්‍රව්‍ය (භෞතික බරට) 0.5%
  • සගන්ධ තෙල් 3-5%

ඖෂධීය හා රසායනික ගුණාංග

කහ වල ඇති ප්‍රධාන රසායනික සංයෝගය වන්නේ කර්කියුමින් ය. විශේෂය අනුවත් කෘෂි දේශගුණික තත්ත්ව අනුවත් කර්කියුමින් අන්තර්ගතය 3 – 7 %  අතර වෙනස් වේ.ස් වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න