කුරුඳු

කුරුඳු

Cinnamomum zeylanicum Blume
කුලය: Lauraceae

ඉතිහාසය

කුරුඳු යනු ලෝරේසියේ කුලයට අයත් Cinnamomum zeylanicum බහු වාර්ෂික ශාකයේ වියළන ලද පොත්තයි. සැබෑ කුරුඳු ශ්‍රී ලංකාවට ආවේණිකය. කුරුඳු මුලින් වගා කරනු ලැබූයේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වනාන්තර ආශ්‍රිතවය. කුරුඳු වල ඉතිහාසය ක්‍රි.පූ. 2800 ක් පමණ වන අතර එය චීන ලේඛනවල “ක්වායි” ලෙස සඳහන් කර ඇත. පුරාණ රෝමයේ මෝසෙස් තමා ආලේප කළ තෙල් සඳහා අමුද්‍රව්‍යයක් ලෙස කුරුඳු යොදාගත් බව බයිබලයේ සඳහන් වේ. රෝමානු අවමංගල්‍යවලදී එය පුළුස්සා දමනු ලැබුවේ මළ සිරුරු ගන්ධය දුරු කිරීම සඳහා වූ ක්‍රියා මාර්ගයක් වශයෙනි. නීරෝ අධිරාජ්‍යයා සිය බිරිඳ පොපියා සබීනාගේ අවමඟුලේදී වියළි කුරුඳු වසරක සැපයුම පුළුස්සා දැමූ බව කියනු ලැබේ. පුරාණ ඊජිප්තුවරුන් එය මමී එම්බාම් කිරීම සඳහා භාවිතා කළේ ප්‍රසන්න ගන්ධයන් සහ එහි කල් තබා ගන්නා ගුණාංග නිසාය.

කුරුඳු 14 සිට 15 වන සියවස් දක්වා බටහිර ලෝකයේ වටිනා කුළුබඩු වර්ගයක් වූ අතර එහි මූලික භාවිතය වූයේ මස් කල් තබා ගැනීම සහ බැක්ටීරියා වර්ධනය වැළැක්වීමයි. 15 වන සියවසේ ලෝකය ගවේෂණය කිරීමට හේතු වූ ප්‍රධාන සාධකය වූ යේ කුරුඳු සඳහා ගවේෂණය කිරීමයි. ඒ වන විට සැබෑ කුරුඳු නිෂ්පාදනය කරනු ලැබුවේ ලෝකයේ එක් ස්ථානයක පමණි. එය ශ්‍රී ලංකාව (Ceylon) නමින් හැඳින්වූ දිවයිනකි. කුරුඳු සැපයුම් ප්‍රවාහය පාලනය කළ ඕනෑම කෙනෙකුට ඉමහත් ලාභ ලැබිය හැකි බව ඔවුහු දැන සිටියහ. 15 වන සියවසේදී පෘතුගීසි වෙළෙන්දෝ ශ්‍රී ලංකාවට පැමිණ ස්වදේශිකයන් වහල්භාවයට පත් කළ අතර අරාබිවරුන්ගෙන් වෙළඳාම තම පාලනයට නතුකර ගත්හ. වැඩි කල් නොගොස් ලන්දේසීන් පෘතුගීසීන් පලවා හැර කුරුඳු ඒකාධිකාරයේ පාලනය ලබා ගත්හ. කුරුඳු බෝගය වගා කිරීම සහ ඔවුන් පාලනය කළ ප්‍රදේශවල කුරුඳු ව්‍යාප්ත කිරීම මගින් නිෂ්පාදනය ඉහළ නැංවීමට දැවැන්ත උත්සාහයක් ගත්තේ ලන්දේසීන් ය. එම උත්සාහය නිසා කුරුඳු වගාව දිවයිනේ බටහිර හා දකුණු වෙරළ තීරයට ව්‍යාප්ත විය. 1815 සිට බ්‍රිතාන්‍යයන් දිවයිනේ පාලනය සියතට ගත් අතර කුරුඳු වෙළඳාම ද ඔවුන්ගේ අතට පත්විය. මේ වන විට ලෝක වෙළඳපොලේ කුළුබඩු වල සාපේක්ෂ වැදගත්කම පහත වැටෙමින් තිබුනේ නැගී එන වතු බෝග අංශ වන තේ සහ රබර් නිසාය. එමගින් කුරුඳු තවදුරටත් ව්‍යාප්ත වීම සීමා විය.

ශ්‍රී ලංකාවේ කුරුඳු වෙළඳාම පිළිබඳ හොඳම ඓතිහාසික සාක්ෂි 1766 පෙබරවාරි 14 වන දින ශ්‍රී ලංකා රජු වන ශ්‍රී කීර්ති ශ්‍රී රාජසිංහ සහ ලන්දේසි රජය අතර අත්සන් කරන ලද උඩරට-ලන්දේසි ගිවිසුම (හන්ගුරංකෙත ගිවිසුම) තුළින් සොයාගත හැකිය.

මෙම ගිවිසුම මගින් රජු විසින් ලන්දේසීන්ට ශ්‍රී ලංකාවේ ඇතැම් වනාන්තරවල කුරුඳු කැපීමට හා සකස් කිරීමට අවසර දී ඇති අතර ලන්දේසීන් විදේශ ආක්‍රමණයෙන් රාජධානිය ආරක්ෂා කිරීමට එකඟ විය.

නිෂ්පාදන සහ ප්‍රයෝජන

කුරුඳු පොතු බොහෝ දුරට කුරුඳු කූරු ස්වරූපයෙන් ලබා ගත හැකි අතර, කූරු සෑදීම ශ්‍රී ලංකාවට සුවිශේෂී වූවකි. කුරුඳු පොත්ත රෝල් කිරීමෙන් කූරු සාදනු ලබන අතර ඒවායින් කිහිපයක් එකට එකතු කර අවශ්‍ය දිගට නළයක් වැනි ව්‍යුහයක් සාදනු ලැබේ. මීට අමතරව පොතු කැබලි (chips), කූරු (quillings) හෝ ෆෙදරිංස් (featherings) ආකාරවලින් හමුවේ. කුරුඳු යනු අද්විතීය ශාකයක් වන අතර එහි කොළ, පොතු සහ මුල්වල අත්‍යවශ්‍ය තෙල් ඇත. නමුත් ඒවායේ රසායනික සංයුතිය එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් වේ. අත්‍යාවශ්‍ය තෙල් පොතු සහ කොළ යන දෙකින්ම නිපදවනු ලැබේ. පොතු තෙල්වල ඇති ප්‍රධාන රසායනිකය සිනමැල්ඩිහයිඩ් වන අතර කොළ තෙල්වල ඉයුජිනෝල් ය. කුරුඳු අමිශ්‍ර කුඩු ආකාරයෙන් හෝ තුනපහ මිශ්‍රණවල මෙන්ම  පෙලට් ආකාරයෙන් ද ලබා ගත හැකිය.

කුරුඳු වැඩිපුරම භාවිතා කරන්නේ ආහාර පිසීම සහ පිළිස්සීම (Baking) සඳහා ය. කුරුඳු යනු සලාද, රසකැවිලි, බීම වර්ග, සුප්, ඉස්ටූ සහ සෝස් වැනි ඕනෑම ආහාර ද්‍රව්‍යයකට එකතු කළ හැකි කුළුබඩු වර්ගයකි. පොතු කැබලි උණු වතුරේ ගිල්වා සාදාගන්නා කුරුඳු බීම ලතින් ඇමරිකානු රටවල ඉතා ජනප්‍රියය. වර්තමානයේ කුරුඳු රස කළ තේ ජනප්‍රිය වෙමින් පවතී. චීන ආයුර්වේදි වෛද්‍ය විද්‍යාවේ අමුද්‍රව්‍යයක් ලෙසද කුරුඳු භාවිතා කරයි. කුරුඳු කොළ සහ පොතු තෙල් ආහාර රසකාරකයක් ලෙසත්, සුවඳ විලවුන් කර්මාන්තයේ දී ත් ඖෂධ කර්මාන්තයේ දී ත් භාවිතා වේ.

ප්‍රධාන වශයෙන් වගා කරන ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ කුරුඳු ආරම්භ වී ඇත්තේ මධ්‍යම කඳුකරයේ වන අතර මහනුවර, මාතලේ, බෙලිහුල් ඔය, හපුතලේ, හෝර්ටන් තැන්න සහ සිංහරාජ අඩවියේ කුරුඳු වල් දර්ශ හතක් දැකිය හැකි වේ. වර්තමානයේ මීගමුව සිට මාතර දක්වා වෙරළ තීරය දිගේ කුරුඳු වගා කර ඇති අතර එය කළුතර සහ රත්නපුර යන ප්‍රදේශවලටද ව්‍යාප්ත වී ඇත.

ප්‍රභේද

ශ්‍රී ලංකාවේ කුරුඳු විශේෂ අටක් ඇත. ඒවා අතර වාණිජමය වශයෙන් වගා කරනු ලබන්නේ Cinnamomum zeylanicum Blume පමණි. පොතු වල රසය මත සම්ප්‍රදායිකව කුරුඳු වර්ග කිහිපයක් වර්ගීකරණය කර ඇත. “පැණි-මිරිස් කුරුඳු” මිහිරි රසයෙන් යුත් හොඳම ඒවා වන අතර “මිරිස් කුරුඳු”, “සෙවල් කුරුඳු” සහ “තිත්ත කුරුඳු” අනෙක් ඒවාය. අස්වැන්න හා ගුණාත්මය මත පදනම්ව මේ වන විට කුරුඳු ප්‍රභේදයන් දහයක් හඳුනාගෙන ඇති අතර “ශ්‍රී විජය” සහ “ශ්‍රී ගැමුණු” ලෙස නම් කර ඇති හොඳම පෙළ දෙක ද නිකුත් කර ඇත. අනෙකුත් වරණයන් විවිධ කෘෂි දේශගුණික කලාපවල පරීක්ෂා කෙරෙමින් පවතී.

පාංශු සහ දේශගුණික අවශ්‍යතා

පස

කුරුඳු වගා කළ හැක්කේ මීගමුවේ රිදී වැල්ල සිට දකුණු වෙරළ තීරයේ ලෝම සහ ලැටරිටික් බොරළු සහිත පස් සහ රට අභ්‍යන්තරයේ ය. පොතු වල ගුණාත්මකභාවය පාංශු හා දේශගුණික සාධක මගින් තීරණය කරනු ලබන අතර හොඳම තත්ත්වයේ කුරුඳු නිපදවනු ලබන්නේ මීගමුව ප්‍රදේශයේ සුදු වැලි සහිත පසෙනි. කෙසේ වෙතත්, අවම විෂ්කම්භයක් සහිත (6mm) කූරුවලින් සමන්විත මිල අධිකම කුරුඳු ශ්‍රේණිය වන “ඇල්බා”, නිපදවනු ලබන්නේ වඩාත් පලපුරුදු හා දක්ෂ සැකසුම්කරුවන් විසින් වන අතර උසස් තත්වයේ අභ්‍යන්තර පිරවුම් එකක් හෝ දෙකක් පමණක් අඩංගු වේ. කුරුඳු වලට ගැඹුරු පස අවශ්‍ය වුවත් කුරුඳු මුල්වලට පසේ මාතෘ ද්‍රව්‍යයේ ඉරිතැලීම් හරහා පවා ගැඹුරු ස්ථරවලට විනිවිද යා හැකිය.

දේශගුණය

කුරුඳු වාණිජමය වශයෙන් ශ්‍රී ලංකාවේ වෙරළ තීරවල වගා කරන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 250 ක් පමණ උන්නතාංශ දක්වා දිවයිනේ අභ්‍යන්තරයට ව්‍යාප්ත වේ. ස්වාභාවිකවම කුරුඳු සොයාගෙන ඇත්තේ උන්නතාංශය මීටර් 500 ක් පමණ ඉහළවන ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශවලිනි. මේ වන තෙක් එය සිංහරාජ සහ නකල්ස් වන රක්ෂිතවල සොයාගත හැකිය. කුරුඳු වල සාර්ථක වර්ධනය සඳහා තෙත් කලාපය ඉතා සුදුසු නමුත් එය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1750 ට වඩා වැඩි මැදරට හා පහතරට අතරමැදි කලාපවල වාණිජව වගා කළ හැකි ය. කෙසේ වෙතත් දීර්ඝ වියළි කාල පරිච්ඡේදයක් ඇති ප්‍රදේශ සඳහා එය සුදුසු නොවේ.

කුරුඳු යනු හිරුඑළිය ප්‍රිය කරන ශාකයක් වන අතර අධික හිරු එළිය අවශ්‍ය වේ.
වඩාත්ම සුදුසු උෂ්ණත්වය සෙල්සියස් අංශක 25- 32 අතර වේ.
වර්ෂාපතනය මිලිමීටර් 1,750-3,500 අතර විය යුතුය.

බෝග ස්ථාපනය

රෝපණ ද්‍රව්‍ය

කුරුඳු සාමාන්‍යයෙන් මහා පරිමාණයෙන් ව්‍යාප්ත කරනුයේ බීජ මගිනි. දඬු කැබලි මගින් වර්ධක ප්‍රචාරණය ද සිදු කළ හැකිය. හොඳින් ඉදුණු බීජ තෝරාගෙන හොඳින් සෝදා ඵලාවරණය ඉවත් කර මතුපිට පස්, ගොම පෙහොර, වැලි සහ කොහු බත් සමාන කොටස් වලින් පුරවන ලද සෙන්ටිමීටර් 12.5 X 20.0 පොලිතීන් මලුවල පැළ කළ යුතුය.
බීජ පහක් හෝ අටක්  එක් මල්ලක රෝපණය කරන අතර මාස දෙකකට පමණ පසු ශක්තිමත් පැළ 4-5 ක් පමණක් ඉතිරිකර අනවශ්‍ය පැළ ඉවත් කිරීම සිදු කරනු ලැබේ.

ක්ෂේත්‍ර රෝපණය

පරතරය – සෙන්ටිමීටර් 120 x 90 (හෙක්ටයාරයකට පැල 9000)
මෝසම් වැසි සමයේ සිටුවීම සිදු කෙරේ. හොඳින් වැඩුණු, රෝගවලින් තොර, මාස හතරක් වයසැති බීජ පැල සෙන්ටිමීටර් 30 x 30 x 30 වළවල් තුල සිටුවනු ලැබේ. රෝපණ වළ මතුපිට පස් හා ගොම පොහොර හෝ කොම්පෝස්ට් වලින් පුරවනු ලබන අතර බීජ පැල 4-5ක් සහිත බෑගයක් එක් වළක රෝපණය කෙරේ.

බෝග කළමනාකරණය

පොහොර යෙදීම

අස්වැන්න නෙළන විට මුළු කුරුඳු පැළෑටියම නෙළන අතර ඒ හේතුවෙන් නව රිකිලි පුනර්ජනනය සඳහා පඳුරට ඉහළ මාත්‍රාවකින් පොහොර අවශ්‍ය වේ. රසායනික පොහොර යෙදීමෙන් අස්වැන්න සැලකිය යුතු ලෙස වැඩි වන අතර කාබනික පොහොර (කුරුඳු කොළ, කොම්පෝස්ට්, කුකුළු පොහොර) යෙදීම ද සාර්ථක වර්ධනයට සහ අස්වැන්න සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

පොහොර නිර්දේශය

නිර්දේශිත පොහොර මිශ්‍රණය – හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 900 කි.

මිශ්‍රණයේ සංරචකබර අනුව කොටස්මිශ්‍රණයේ ඇති පෝෂක
යූරියා (46% N)223% N
රොක් පොස්පේට් (28% p2O5)17% P2O5
මියුරියේට් ඔෆ් පොටෑෂ් (60% K2O)115% K20
වගාවේ වයස මහ කන්නය (හෙක්ටයාරයකට මිශ්‍රණයෙන් කි.ග්‍රෑ) යල කන්නය (හෙක්ටයාරයකට මිශ්‍රණයෙන් කි.ග්‍රෑ)
පළමු වසර (සිටුවීමෙන් මාස හයකට පසු)150150
2 වන වසර (kg)300300
3 වන වසර සහ ඊට පසු (kg)450450

යල සහ මහ වැසි ආරම්භ වීමත් සමඟ වසරකට දෙවරක් පොහොර යොදනු ලැබේ. පාංශු pH අගය 4.5 ට අඩු ප්‍රදේශවල ඩොලමයිට් වසරකට හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 500 සිට 1000 දක්වා යොදනු ලැබේ.

වල් නෙලීම – කුරුඳු වල වල් නෙලීම අත්‍යවශ්‍ය  කාර්යයකි. අළුතින් වගා කළ වතු සඳහා වල් පැළ සම්පූර්ණයෙන් ඉවත් කිරීම නිර්දේශ කරන අතර පරිණත බෝග සඳහා වසරකට 2-3 වතාවක් කප්පාදු කිරීම නිර්දේශ කෙරේ.
පාංශු සංරක්ෂණය – භූමිය බෑවුම් සහිත හෝ තැනිතලා නොවන භූමිවල ඛාදනය අඩු කිරීම සඳහා පාංශු සංරක්ෂණය කළ යුතුය. ඒ සඳහා සුදුසු පරතරයන් සහිතව සමෝච්ඡ කාණු යෙදීම නිර්දේශ කරනු ලැබේ.
පැලෑටි පුහුණුව හා කප්පාදු කිරීම – පැලෑටි පුහුණු කිරීම හා කප්පාදු කිරීම සෑම මාස හයකට වරක් කළ යුතුය. සෘජු හා සිනිඳු කඳක් ඇති කිරීම සඳහා අතිරික්ත පාර්ශ්වීය අතු ඉවත් කරනු ලබන අතර අස්වැන්න නෙළීමෙන් පසු ප්‍රධාන කඳේ වර්ධනය වැඩි දියුණු කිරීම සඳහා දුර්වල රිකිලි ඉවත් කරනු ලැබේ.

බෝග ආරක්ෂණය

රෝග

රළු පොතු රෝග: Phomopsis sps.

රළු පොතු රෝගය කුරුඳු වල බහුලව දක්නට ලැබෙන රෝගයකි. එය නොමේරූ රිකිලි මත පොතු දුඹුරු පැහැ ලප වලින් ආරම්භ වන අතර පසුව පොත්ත පුරා ක්‍රමයෙන් පැතිරෙයි. ආසාදිත ශාක පත්‍ර වල හරිතක්ෂය පෙන්නුම් කරන අතර දරුණු තත්වයන් යටතේ ආසාදිත නොමේරූ ශාක මිය යනු ඇත. ආසාධීත පොතු භාවිතයට ගත නොහැක. රෝගී ශාක විනාශ කිරීමෙන් හා නිවැරදි ශෂ්‍ය විද්‍යාත්මක පිළිවෙත් අනුගමනය කිරීමෙන් රෝග පාලනය කළ හැකිය. අස්වනු නෙළීම නිවැරදි කාල පරාසයන් තුළ සිදු කළ යුතු අතර අතිරික්ත පාර්ශ්වීය අතු ඉවත් කළ යුතුය. රසායනික ප්‍රතිකාරයක් ලෙස 1% බෝඩෝ මිශ්‍රණය හෝ තඹ පාදක වූ දිලීර නාශකයක් ඉසිය හැක.

සුදු මුල් රෝගය

මෙය Fomes noxis ලෙස හැඳින්වෙන දිලීරය හේතුවෙන් හටගනී. කලින් රබර් වගා කළ ඉඩම්වල රෝපණය කරන ලද කුරුඳු වල බහුලව දක්නට ලැබේ. පත්‍ර කහ වී පසුව කොළ හැලීම සහ ශාක හදිසියේ මිය යාම දෘශ්‍යමාන රෝග ලක්ෂණ වේ. ආසාදිත ශාකවල මුල් මත සුදු වර්ණ දිලීර මයිසිලියා වර්ධනය නිරීක්ෂණය කළ හැකිය.

රෝග පැතිරීම පාලනය කිරීම සඳහා මිය ගිය ශාක උදුරා පුළුස්සා දැමිය යුතුය. මූල පාදස්ථය පිරිසිදු කළ යුතුය. එවැනි ඉඩම්වල නව ශාක පිහිටුවන විට ආසාදිත ශාක පාදස්ථයට හා රෝපණ වළට සල්ෆර් කුඩු යෙදිය යුතුය.

අනෙකුත් සුළු රෝග නම් කොළ අංගමාරය, කොළ මත කළු powdery mildew ඇල්ගී වර්ධනය වීමයි.

පළිබෝධකයන්

රෝස කඳ විදින්නා: Ichneumoniptera cf.xanthosoma

වැඩිහිටි සලබයා කුරුඳු පැළෑටියේ පාදස්ථයේ බිත්තර දමන අතර දළඹුවා (කීටයන්) පාංශු මතුපිටට ආසන්නයෙන් කඳ තුලට ඇතුළු වී කඳ අභ්‍යන්තරය ආහාරයට ගනී. මෙම පළිබෝධ හානිය බහුලව දක්නට ලැබෙන්නේ දුර්වල වගා කළමනාකරණය සහිත පැරණි වතු වල ය. එහි ප්‍රතිඵලයක් ලෙස නව රිකිලි මිය යා හැකි අතර සමහර පරිණත රිකිලි පාදයේ සිට කඩා වැටේ. නව රිකිලි දැමීමද දුර්වල වේ. අවසානයේදී ක්‍රමයෙන් පඳුර මිය යනු ඇත. ශාක පාදස්ථය ආවරණය කිරීමෙන් හා නිසි ලෙස පාංශු සංරක්ෂණය කිරීමෙන් හානිය සාර්ථකව පාලනය කළ හැකිය. හානිය බරපතල නම්, කාර්බෆ්‍යුරාන් සහ ක්ලෝරෝෆයිරොෆොස් වැනි රසායනික ද්‍රව්‍ය භාවිතා කළ හැකිය.

අනෙකුත් සුළු පළිබෝධ ගැටළු වන්නේ කුරුඳු රිකිලි විදින්නා, කූඩිත්තන් හා මයිටාවන්, පත්‍ර කණින්නන් හා කුරුඳු සමනලයින් වේ.

අස්වනු හා පසු අස්වනු පිළිවෙත්

සිටුවීමෙන් වසර තුනකට පසු පළමු වරට කුරුඳු අස්වැන්න ලබාගත හැකි අතර වසරකට දෙවරක් අස්වැන්න ලබාගත හැකිය. අස්වැන්න නෙළීම සිදු කරනුයේ කඳේ පොතු වල වර්ණය දුඹුරු පැහැයට හැරෙන විට සහ කෝටුවල විෂ්කම්භය සෙන්ටිමීටර 3-5ක් පමණ වන විට වේ. පොතු ඉවත් කිරීම එදිනම සිදු කළ යුතු අතර පොතු වෙන්කිරීමට පෙර අස්වනු සඳහා නෙලූ කෝටුවලින් අතු සහ කොළ ඉවත් කෙරේ. පොතු ඉවත් කිරීමේ දී පිටත ආවර්ණය සූරා ඉවත් කරන අතර දැවයෙන් පොත්ත ලිහිල් වීම සඳහා පිත්තල යෂ්ඨියකින් පොත්ත පිරිමදිනු ලැබේ. ඉන්පසු විශේෂ පිහියක් භාවිතයෙන් පොත්ත කොටසින් කොටස ඉවත් කරන අතර පැය කිහිපයක් හිරු එළියෙන් වියළීමට ඉඩ හරිනු ලැබේ. පොත්ත රෝල්වන විට පොතු කැබලි එකිනෙකට සම්බන්ධ කර නලයක් වැනි ව්‍යුහයක් සාදනු ලැබේ. (එය කුරුඳු කූරක් ලෙස හැඳින්වේ) නලයේ සම්මත දිග අඟල් 42 කි. නලයේ කුහරය කුඩා පොතු කැබලි වලින් පුරවන අතර එම නල දින 4-7 ක් පමණ වියළීම සඳහා ඇතුළත තබයි.

ප්‍රමිතිගත ගුණාත්මක පිරිවිතර

කුරුඳු කූරුවල ගුණාත්මක අවශ්‍යතා

ලක්ෂණය 
සුවඳ කුරුඳුවලට ආවේණික සුවඳ
වර්ණය ලා දුඹුරු සිට දුඹුරු දක්වා
තෙතමනයකුරුඳු කූරු සඳහා 14% ක් සහ අනෙකුත් නිෂ්පාදන සඳහා 12% ක්
වාෂ්පශීලී තෙල්කුරුඳු කූරු සඳහා 1% සහ වෙනත් නිෂ්පාදන සඳහා 0.7%
මියගිය කෘමීන් සංඛ්‍යාව (කි.ග්‍රෑ. 01 කට සංඛ්‍යාව)4
ක්ෂීරපායී මල ද්‍රව්‍ය (කි.ග්‍රෑ. 01 කට මිලි ග්‍රෑම්)2
අනෙකුත් මළ මූත්‍ර (කි.ග්‍රෑ. 01 කට මිලි ග්‍රෑම්)4
දිලීර හානියට ලක්වූ කොටස් (බර අනුව %) 1
කෘමි හානියට ලක්වූ කොටස් (බර අනුව %)1
වෙනත් බාහිර ද්‍රව්‍ය (බර අනුව %) 0505

කුරුඳු කූරු සඳහා පිරිවිතර

Gradeවිෂ්කම්භය (උපරිම මි.මී.)කිලෝග්‍රෑමයකට තිබිය යුතු 42” දිගු කූරු ගණන කිලෝග්‍රෑමයකට තිබිය හැකි රළු කූරු ප්‍රතිශතය බේල් එකක තිබෙන කූරුවල අවම දිගබේල් එකක තිබිය හැකි උපරිම තනි ගුණාත්මක කූරු ප්‍රතිශතය
Alba645නැත2001
Continental (C )     
C00000 Sp.635102001
C00000103110  
C0000132410  
C000162215  
C00172020  
C0191825  
Mexican (M)     
M00000Sp.1622502002
M00000162260  
M0000191860  
Hamburg (H)     
H12311251503
H225940  
H338760  

ඖෂධීය හා රසායනික ගුණාංග

කුරුඳු කොළ තෙල්වල ප්‍රධාන රසායනික සංඝටකය ඉයුජිනෝල් වන අතර කුරුඳු පොතු තෙල් වල සිනමල්ඩිහයිඩ් වේ. කෙසේ වෙතත් සැබෑ කුරුඳු වල ලාක්ෂණික රසය සහ සුවඳ ලබා දෙන සුළු රසායනික ද්‍රව්‍ය සිය ගණනක් ඇත.

කුරුඳු ඖෂධීය අරමුණු සඳහා භාවිතා කර ඇති අතර ක්‍රි.පූ. 2700 පමණ පැරණි චීන උද්භිද ග්‍රන්ථවල එය සුව කිරීමේ පැලය ලෙස හඳුන්වා ඇත. පුරාණ රෝමයේ එය සෙම්ප්‍රතිශ්‍යාව හා උණ සඳහා මෙන්ම ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු සඳහාද ඖෂධීයක් වශයෙන් භාවිතා කර ඇත.

මොළයේ ශක්තිය ඉහළ නැංවීම, රුධිර කැටි ගැසීම අඩු කිරීම, හදවතේ සහ මහා බඩවැලේ රෝග තත්වයන් සුව කිරීමට කුරුඳු දක්වන බලපෑම් පිළිබඳව මෑතකදී අධ්‍යයනය කර ඇත. රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමෙන් සහ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමෙන් දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගී තත්වය පාලනය කිරීමට ඇති හැකියාව මෑත දී කළ අධ්‍යයනයන් මගින් සනාථ කර ඇත. සාම්ප්‍රදායික සමාජයේ කුරුඳු ආහාර දිරවීමේ අපහසුතාව, මළ බද්ධය, ඔසප් වීම හා සම්බන්ධ ගැටළු, සන්ධි සහ මාංශ පේශිවල තදවීම ඉවත් කිරීමට භාවිතා කළ බව කියනු ලැබේ. එය ඉදිමුම් අඩුකරන ඖෂධයක් ලෙස සහ ආතරයිටිස් රෝගීන්ට වේදනා නාශකයක් ලෙස භාවිතා කරන බව පවසනු ලැබේ. සමහර අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ කුරුඳු මුත්‍රා වාහිනීවල ආසාදන සුව කිරීමට සහ දත් දිරායාම හා විදුරුමස් රෝග වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වන බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න