කොකෝවා

කොකෝවා

Theobroma cacao
කුලය: Sterculiaceae

ඉතිහාසය

ඇමේසන් ද්‍රෝණියේ සම්භවය වූයේ යැයි උපකල්පනය කෙරෙන කොකෝවා ගස විශේෂයෙන් මෙක්සිකෝව ද ඇතුලත්ව මධ්‍යම ඇමරිකාවට ව්‍යාප්ත වී ඇතැයි සැලකේ. ඔල්මෙක් සහ මායාස් වැනි එම කලාපයේ ස්වදේශිකයන් විසින් කෙකෝවා පිළිබඳව දැනුවත්ව එය භාවිතා කරන ලද අතර ඔවුහු එය “දෙවිවරුන්ගේ ආහාර” ලෙස සැලකූහ. කොකෝවා බීජ මුදල් ලෙස භාවිතා කළ ඇස්ටෙක්වරු කොකෝවා වලින් සාදන ලද තිත්ත චොකලට් බීම වර්ගයක්ද රස වින්දෝය. ක්‍රිස්ටෝපර් කොලම්බස් ඇමරිකාවේ දී කොකෝවා ඇට සොයාගත් අතර එය ඔහු සිදුකලේ වසර 20 කට පසුවය. හර්නන්ඩෝ කෝර්ටස් ඇස්ටෙක්වරු භාවිතා කළ තිත්ත පානය සොයාගෙන කොකෝවා ඇට සහ වට්ටෝරුව ස්පාඤ්ඤයේ පස්වන චාල්ස් රජු වෙත යවා ඇත. ස්පාඤ්ඤ ජාතිකයින් විසින් වට්ටෝරුව නැවත සකස් කළේ සීනි එකතු කිරීම සහ රසය වැඩි දියුණු කිරීම සඳහා අමුද්‍රව්‍ය රත් කිරීමෙනි. 1828 වන විට කොකෝවා බටර් නිස්සාරණය කිරීමට කොකෝවා මිරිකන යන්ත්‍රයක් නිර්මාණය විය. පසුව 1879 දී ස්විට්සර්ලන්ත ජාතිකයෝ මිල්ක් චොකලට් සහ ඝන චොකලට් නිෂ්පාදනය කළෝය. එක්දහස් අටසිය ගණන් වලදී විට යුරෝපීය යටත් විජිත පාලකයෝ ඔවුන්ගේ යටත් විජිතවලට කොකෝවා හඳුන්වා දුන් අතර ඉන් පසුව එය අප්‍රිකාවේ සහ ආසියාවේ වාණිජ වගාවන් ලෙස සංවර්ධනය කරන ලදී.

නිෂ්පාදන සහ ප්‍රයෝජන

කොකෝවා මත්පැන්, කොකෝවා බටර්, කොකෝවා කේක් සහ අමු කොකෝවා කුඩු වැනි පුළුල් පරාසයක වූ අන්තර මාධ්‍ය නිෂ්පාදන භාවිතා කරමින් කොකෝවා වැඩිවශයෙන් පිරි සැකසුම් කෙරෙන්නේ චොක්ලට් සහ කොකෝවා නිෂ්පාදනවලටය. සැබෑ චොකලට් (එය මේදය ලෙස කොකෝවා බටර් පමණක් භාවිතා කරයි, එබැවින් වඩා හොඳ ගුණාත්මක බවක් ඇති අතර වඩා මිල අධිකය) සහ මිශ්‍ර චොකලට් (කොකෝවා බටර් වෙනුවට වෙනත් එළවළු මේද භාවිතා කරයි) ලෙස චොක්ලට් වැඩිදුරටත් වර්ග කල හැකිය. නිවර්තන සහ ආසියානු වෙළඳපොළවල වැඩි වශයෙන් ඇත්තේ මිශ්‍ර චොකලට් ය. ශ්‍රී ලංකාවේ චොකලට් වෙළඳපොළෙන් 85% ක්ම මිශ්‍ර චොකලට් වේ.
කොකෝවා කුඩු මූලිකව යොදා ගැනෙන්නේ බිස්කට්, අයිස්ක්‍රීම් සහ වෙනත් සත්ත්ව නිෂ්පාදන බොහොමයක්, බීම වර්ග, කේක් රස ගැන්වීමටත් සහ රසකැවිලි සහ ශීත කළ අතුරුපස වැනි දෑ දැවටීමටය. එය බීම කර්මාන්තයේ ද භාවිතා වේ. චොකලට්, සබන්, රූපලාවන්‍ය නිෂ්පාදන සහ ඖෂධීය නිෂ්පාදන නිෂ්පාදනයයේදීද කොකෝවා බටර් යොදා ගනී. සමහර රටවල කොකෝවා පල්පයේ යුෂ පැසවීමට සලස්වා කාර්මික මධ්‍යසාර, බ්‍රැන්ඩි සහ වයින් වැනි මධ්‍යසාර පාන වර්ග නිෂ්පාදනය සඳහා භාවිතා භාවිතා කරයි. සත්ව ආහාර පිළියෙල කිරීමේදී ගෙඩියේ ලෙලි භාවිතා වේ. ලෙලි සහ කටු, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස සහ ජෛව ඩීසල් නිපදවීමේ දී යොදා ගනී.

ප්‍රධාන වශයෙන් වගා කරන ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ කොකෝවා වගා කිරීම සඳහා සුදුසු තත්වයන් මධ්‍යම, වයඹ, සබරගමුව, ඌව, බටහිර සහ දකුණු පළාත්වල දක්නට ලැබේ. සුදුසු පස් වර්ගයක් පවතින විට පොල් හා රබර් සමග යටි වගාවක් ලෙස භාවිතා කළ හැකි වඩාත් වැදගත් ගස් බෝගයක් ලෙස කොකෝවා සැලකිය හැකිය. ශ්‍රී ලංකාවේ කොකෝවා මුළු වගා වපසරිය හෙක්ටයාර 1805 ක් වන අතර මාතලේ, මහනුවර, බදුල්ල, කුරුණෑගල, කෑගල්ල සහ මොණරාගල කොකෝවා වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක වේ.

ප්‍රභේද

ලෝකයේ ප්‍රධාන කොකෝවා වර්ග තුනක් ඇත. ඒවා ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කර ඇත්තේ බීජ පියලි දෙකේ වර්ණය මත ය. ‘ක්‍රියෝලෝ’ ප්‍රභේදයට ක්‍රීම් පාට බීජ පියලි ඇත. ‘ෆොරස්ටෙරෝ’, තද දම් පාට බීජ පියලි සහ ‘හයිබ්‍රිඩ්’ හෙවත් ‘ට්‍රිනිටාරියෝ’ ප්‍රභේදයට ක්‍රීම් සිට තද දම් දක්වා පරාසයක වර්ණ වෙනස්වන බීජ පියලි ඇත. ක්‍රියෝලෝ ඇට සාමාන්‍යයෙන් උසස් තත්ත්වයේ ඒවා වන අතර ඒවා ‘සිනිදු’ හෝ ‘මෘදු’ ලෙස සලකනු ලැබේ. නමුත් ශාකයේ අස්වැන්න හා ප්‍රාණවත් බව අඩුය. අනෙක් අතට, ලෝක කොකෝවා නිෂ්පාදනයේ වැඩි කොටසක් සමන්විත වන්නේ සාපේක්ෂව ගුණාත්මක බවින් අඩු එහෙත් ඔරොත්තු දීමේ ශක්තිය සහ අස්වැන්න වැඩි ට්‍රිනිටාරියෝ බීජ වලින් ය. දෙමුහුන් වර්ග අතර විවිධ ලක්ෂණ ඇත. සිනිදු සහ රසැති කොකෝවා නිපදවන “ක්‍රියොලෝ” ප්‍රභේදය තමන් සතුව තිබීම නිසා ශ්‍රී ලංකාවට කීර්තියක් ඇති නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවෙන් සොයා ගන්නා කොකෝවා බොහොමයක් ප්‍රධාන ප්‍රභේද තුනෙහි මුහුන් ය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වගා කරන ලද ප්‍රභේද / දෙමුහුන් වන්නේ SCA6 x ICS6, NA32 x ICS1, W6 / 457, W5 / 5, WK2 සහ WK7 ය.

පාංශු සහ දේශගුණික අවශ්‍යතා

පස

කොකෝවා වඩාත් කැමත්තක් දක්වන්නේ ගැඹුරු , කාබනික ද්‍රව්‍ය වලින් පොහොසත්, හොඳින් ජලය බැස යන මැටි ලෝම පසකට වේ. ශ්‍රී ලංකාවේ නොමේරූ දුඹුරු ලෝම සහ රතු පැහැයට හුරු දුඹුරු ලැටසොලික් පස් ඉතා යෝග්‍යතම තත්වයන් සපයයි. මතුපිට 40% ක් දක්වා විසිරුණු ගල් හා ගල් කැට යෝග්‍ය වේ. රළු බොරළු සහිත පස්, වැලි සහිත පස්, නොගැඹුරු පස්, පාෂාණ තීරයක් යටින් ඇති පස් හෝ තද ලැටරයිට් පිහිටා ඇති පස් මෙම වගාවට නුසුදුසු ය.

දේශගුණය

උන්නතාංශය: මුහුදු මට්ටමේ සිට මීටර් 600 දක්වා
උෂ්ණත්වය: කොකෝවා පැල බොහෝ විට වැඩි උච්චාවචනයන්ගෙන් තොර සාපේක්ෂව ඉහළ උෂ්ණත්වයකට (මධ්‍යන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 24-27 පමණ) වැඩි කැමැත්තක් දක්වයි. එහෙත් මූලික උෂ්ණත්ව පරාසය සෙල්සියස් අංශක 21 – 32 අතර වේ.
වර්ෂාපතනය: මි.මී. 1250-2500 අතර හොඳින් ව්‍යාප්ත වූ වර්ෂාපතනයක් අවශ්‍ය වන අතර මි.මී. 2750 ඉක්මවන වර්ෂාපතනය දිලීර රෝග සඳහා, විශේෂයෙන් ගෙඩි කුණුවීමට හිතකර තත්වයක් ඇති කරයි. මසකට මිලිමීටර 100 ට අඩු වර්ෂාපතනය කොකෝවා සඳහා වියළි තත්වයක් ලෙස සැලකේ.
pH: 5-6.5 නිර්දේශ කර ඇත. නමුත් හොඳම pH පරාසය 6.0 – 6.5 වේ.
වායුගෝලීය ආර්ද්‍රතාවය: තෙත් ආර්ද්‍රතාවයක් යටතේ හොඳින් වැඩේ. විශේෂයෙන් මල් හටගන්නා සමයේ දී එය පරාගනයට හිතකර  බැවින් බෝගයට සාපේක්ෂව ඉහළ සාපේක්ෂ ආර්ද්‍රතාවය (60-70%) අවශ්‍ය වේ.
සුළඟ – ආර්ද්‍රතාවය අඩු කරන බැවින් නිතර පවතින සුළං හානිකර වේ. ප්‍රභාසංශ්ලේෂණය වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩ CO2 සැපයීම හේතුවෙන් බෝග ඵලදායිතාවයට එය බලපාන හෙයින් දහවල් කාලයේ දී ප්‍රධාන බෝග (පොල් හෝ රබර්) හරහා හමන මෘදු සුළං ධාරා හිතකර වේ.
සෙවන: වර්ධනයේ පළමු වසර 03 තුළ සාපේක්ෂව ඝන ඉහලින් පිහිටි සෙවනක් (40-50%) අත්‍යවශ්‍ය වේ. ඉන් පසුව, උඩු වියන පැතිරීමත් සමග සෙවන ඉවත් කල හැකි අතර, 25-30% සෙවනක් වැඩුණු වගාවන් සඳහා ප්‍රමාණවත්ය. රබර්, පොල් හෝ වන යට ඇති සෙවන ප්‍රමාණවත් නොවේ නම්, තාවකාලික සෙවන ලබා ගැනීම සඳහා ඉක්මනින් වැවෙන් කෙසෙල් හෝ පැපොල් වැනි වගාවක් ස්ථාපිත කළ හැකි අතර, සථාවර සෙවනක් ලබා ගැනීමට එරබදු හෝ ග්ලිරිසීඩියා වැනි ගස් වර්ග ස්ථාපිත කල හැකිය.

බෝග ස්ථාපනය කිරීම

රෝපණ ද්‍රව්‍ය

සාමාන්‍යයෙන් රෝපණය සඳහා යොදා ගන්නේ බීජ ය. නැවුම් බීජ ලබා ගැනීම සඳහා තෝරාගත් කොකෝවා ප්‍රභේදවලින් ලබාගත් ගෙඩි විවෘත කරනු ලැබේ. ඉන්පසු වැලි, කොහු බත්, දහයියා හෝ ඒ හා සමාන ද්‍රව්‍ය සමඟ බීජ මිශ්‍ර කර පිටත ආවරණ නානු ඉවත් කිරීම සඳහා හොඳින් පිරිමදිනු ලැබේ. බීජ වැලි පාත්තියක වැපිරීම හෝ මතුපිට පස්, ගොම, කොහු බත් හා වැලි මිශ්‍රණයකින් පුරවන ලද පොලිතීන් බෑගයක සෘජුවම සිටුවිය හැකිය. ප්‍රරෝහණ සීඝ්‍රතාවය වැඩි කිරීමට සහ ප්‍රරෝහණය සඳහා ගතවන කාලය අඩු කිරීමට, බීජාවරණය ඉතා පරිස්සමින් ඉවත් කරන ලෙසත් බීජයේ මොට අග්‍රය පහලට සිටින සේ වැපිරීමට උපදෙස් දෙනු ලැබේ. වැලි පාත්තියක වපුරා ඇත්නම්, බීජ පැල පොලිතීන් මල්ලක නැවත සිටුවිය යුතුය. විශේෂයෙන් ඉහළ අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද ප්‍රචාරණයේ දී බද්ධ කොකෝවා පැල රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කරයි.

පරතරය:
ඒක වගාව සඳහා – 10’x10 ’(හෙක්ටයාරයට පැල 1100 )
රබර් සමඟ අතුරු බෝගයක් ලෙස – රබර් පරතරය – 12’x20 ’හෝ 8’ x 27 ’; රබර් වගාව තුල කොකෝවා පරතරය – 8’ හෝ 10’ පරතරයෙන් තිනි පේළියක්

පොල් සමඟ අතුරු බෝගයක් ලෙස – 26’x26 ’
පොල් වගාව තුල කොකෝවා පරතරය – 10 ’පරතරය සහිත කොකෝවා පේළි දෙකක්

ක්ෂේත්‍ර රෝපණ

මෝසම් වැසි ආරම්භ වීමත් සමඟ සිටුවීම සිදු කෙරේ. භූමිය සැකසීමෙන් පසු පැල 1 1/2‘ x 1 1/2’ x 1 1/2’ ප්‍රමාණයේ වලවල්වල රෝපණය කර මතුපිට පස් හා ගොම පොහොරවලින් පුරවනු ලැබේ. රෝපණ කරන වකවානුව වනවිට ක්ෂේත්‍රයේ ප්‍රමාණවත් සෙවනක් නොමැති නම් තාවකාලික සෙවන ලබා දිය යුතුය.

බෝග කළමනාකරණය

වල්පැල ඉවත් කිරීම

කොකෝවා පැල අවධියේ දී ක්‍රමවත් ආකාරයට වල්පැල ඉවත් කිරීම (වසරකට 4-5 වතාවක්) අවශ්‍ය වේ. කොකෝවා ගස් වර්ධනය වූ විට වසරකට වරක් හෝ දෙවරක් වල්පැල ඉවත් කිරීම ප්‍රමාණවත් වේ.

පොහොර යෙදීම

නිර්දේශිත මිශ්‍රණය – හෙක්ටයාරයකට පැල 1100 ක ඝනත්වයකින් යුත් වගාවකට හෙක්ටයාරයකට 770 kg

මිශ්‍රණයේ සංඝටක බර අනුව කොටස් මිශ්‍රණයේ ඇති පෝෂකය
යූරියා (46% N) 4 14% N
රොක් පොස්පේටි ( 28% P2O5) 5 11% P2O5
මියුරියේට් ඔෆ් පොටෑෂ් (60% K2O) 3.5 14% K2O
කීසරයිට් (24% MgO) 1 2% MgO
ශාකයේ වයස මහ කන්නය (හෙක්. 01 ට කි.ග්‍රෑ.) යල කන්නය (හෙක්. 01 ට කි.ග්‍රෑ.)
පළමු වසර (kg) 137.5 137.5
දෙවන වසර (kg) 275 275
තුන්වන වසරේ සිට ඉදිරියට (kg) 385 385

පාංශු තෙතමනය සංරක්ෂණය කිරීමටත්, පාංශු ඛාදනය වැළැක්වීමටත් සහ අතිරේක පෝෂණය සැපයීමටත් කොළ රොඩුවලින් වසුන් යෙදීම ප්‍රයෝජනවත් වේ. පළමු වසර 2-3 තුළ ග්ලිරිසිඩියා වසුන් වඩාත් සුදුසු වන අතර, වසර 4 කට පසු යෝග්‍ය වසුන් ද්‍රව්‍යයක් ලෙස කොකෝවා කොළ සහ කොකෝවා කරල් ද නිර්දේශ කළ හැකිය.

කප්පාදු කිරීම සහ වියන් ස්ථරය නඩත්තු කිරීම

කොකෝවා අස්වැන්න වැඩි කිරීම සඳහා දිය රිකිලි ඉවත් කිරීම සහ වියන් ස්ථරය නඩත්තු කිරීම ඉතා අත්‍යවශ්‍ය වේ. ප්‍රධාන කඳෙන් වර්ධනය වන සියලුම දිය රිකිලි මසකට වරක් ඉවත් කළ යුතුය. ඒවාට ඉහළ වියළි ද්‍රව්‍ය වියෝජන සීඝ්‍රතාවයක් ඇති අතර ගෙඩි වර්ධනයට හා පිරවීමට බලපායි. ඒවා කුඩා අවධියේ දී ඉවත් කිරීමට පහසු වන අතර අස්වැන්න අඩුවීමට බල නොපායි. සියලුම මියගිය අතු, වියළි අතු සහ පතිත එල්ලා වැටෙන අතු ද ඉවත් කළ යුතුය. කොකෝවා කොළ විශාල හා ඝණකමින් යුක්ත  බැවින් පහළ වියන් මට්ටම්වලට ආලෝකය විනිවිද යාම ප්‍රමාණවත් නොවේ. එබැවින් නිසි පරිදි වියන් කප්පාදු කිරීමේ ක්‍රම මගින් පත්‍ර ක්ෂේත්‍ර දර්ශකය – LAI (Leaf Area Index – පත්‍ර ස්ථර ගණන ලෙස සරලව ඉදිරිපත් කල හැක) 3 – 4 පවත්වා ගත යුතුය. කොකෝවා පැල සඳහා ලැබෙන සෙවන ඉහළ නම්, සෙවන සහිත ගස් කප්පාදු කළ යුතු අතර 40 – 50% ක සෙවන මට්ටමක් පවත්වා ගත යුතුය.

බෝග ආරක්ෂණය

රෝග

ගෙඩි කුණුවීමේ රෝගය

මූලික රෝග ලක්ෂණ වන්නේ ජලයෙන් පෙඟුනු පෙනුම සහිත කුඩා දුඹුරු වණ ඇති වීමයි. ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක පවතී නම් දුඹුරු පැහැ වණ ඉතා සීඝ්‍රයෙන් පැතිරෙයි. රෝගය වර්ධනය වන විට ඉදිරියට ව්‍යාප්ත වන වණයේ මායිමට සෙ.මී. 01 ක් පමණ පිටුපසින් ළා බීජානුධානි හටලැනීමක් වර්ධනය වෙයි. පිටුපස සෙන්ටිමීටර 1 ක් පමණ දුරින් ස්පෝරන්ජියා වල සැහැල්ලු පිපිරීමක් ඇතිවේ. මර්ධනය සඳහා ආසාදිත සියලුම ගෙඩි ඉවත් කර ඒවා විනාශ කිරීම ද අනතුරුව 1% බෝඩෝ මිශ්‍රණයක් හෝ වෙනත් තඹ දිලීර නාශකයක් ඉසීම කළ හැක. අතිරික්ත සෙවන සහ දිය රිකිලි මෙන්ම අනවශ්‍ය අතුද ඉවත් කළ යුතුය.

අංකුර ඉදිමීමේ රෝගය

රෝගයේ ලක්ෂණයක් වන්නේ අතු ඉදිමීම සහ විචිත්‍රය රෝග ලක්ෂණ සහිත පත්‍ර ඇති වීමයි. එය වෛරසයක් මගින් ඇති වන අතර පිටි මකුණන් මගින් සම්ප්‍රේෂණය වේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ රෝගය දරුණු හානි පමුණුවන මාදිලියකින් ඇති නොවන නිසා ආර්ථික අලාභය නොසැලකිය හැකිය. ආසාදිත ශාක ඉවත් කිරීම සහ පිටි මකුණන් පාලනය කිරීම සහ ආසාදිත ශාක වලින් රෝපණ ද්‍රව්‍ය යොදා නොගැනීමෙන් රෝගය පාලනය කළ හැකිය

පළිබෝධකයන්

කොකෝවා කැප්සීඩ් මකුණා – Helopeltis ceylonensis,De  Silva

සුහුඹුලන් සහ ශිෂුවන් කොකෝවා ගසේ ගෙඩි, නොමේරු පත්‍ර හා කඳ මතින් යුෂ උරා බොති. ඔවුන් ශාක පටක වලින්  යුෂ උරා බීම නිසා ගෙඩි වල කවාකාර හැඩයකින් යුතු තෙත සහිත  කළු  කුඩා ලප  ඇතිවේ. සාමාන්‍යයෙන් මාස 2ට වඩා අඩු වයස් වු කොකෝවා ගෙඩි වලින් යුෂ උරා බීම හේතුවෙන් කුඩා ගෙඩි වියළී වැටෙන අතරම, ඒ තුලින් දිලීර ආසාධනය වී විනාශ වී, ගෙඩි කුණු වීම  සිදු විය හැක. වයස මාස හතරකට වඩා වැඩි ගෙඩි වලින් යුෂ උරා බීම නිසා එම ගෙඩි වලට කිසිදු හානියක් ඇති නොකරයි. ඔවුන් ලපටි පත්‍ර වලට හානි කළ විට, දළු මැලවීමත් සමගම දල්ල මැරී යයි. හානිය පාලනය සඳහා සෙවණ පාලනය කරන්න. සාමාන්‍යයෙන් 40% ක් පමණ සෙවණ තිබීම ප්‍රමාණවත්ය. සතුන් පහසුවෙන් අල්ලා  විනාශ කිරීම සඳහා sticky trap භාවිතය හා ක්ෂේත්‍රය පිරිසිදුව තබා ගැනිම ඉතා වැදගත් වේ.

පිටි මකුණා – Planococcus citri, Risso

පරිනත සතුන් සහ පරිනත නොවූ පිටි මකුණන් විසින් ශාකයේ වර්ධක දළු කොටස් සහ ගෙඩි වල නටුවෙන් යුෂ උරාබීම සිදුකරන අතර  මොවුන් කොකෝවා රිකිලි ඉදිමුම් (CSSV) වයිරසයේ රෝග වාහකයෙක් ලෙස ක්‍රියා කරයි. මෙම සතුන්ගෙන් සෘජුව සිදුකරන  හානිය එතරම් වැදගත් නොවන අතර මොවුන්ගේ ශරිරයෙන් පිටවන මධු වැනි ස්‍රාවීය ද්‍රව්‍යය  නිසා පැමිනෙන කුහුඹුවන් මොවුන් සෑම තැනම රැගෙන යති. හානිය පාලනය සඳහා හානි වූ වර්ධක කොටස් අතු කොටස් කපා දමා ඒවා එකතු කර පුලුස්සා දැමීම, ආශ්‍රිතව කූඹින් සිටී නම් ඔවුන් මර්ධනය කිරීම කල යුතුය. හානිය දරුණු නම්, පිටි මකුණන් මර්ධනය සඳහා නිර්දේශිත පළිබෝධනාශක් යෙදීම සුදුසුයි.

කොකෝවා වගාවේදී කඳන් විදින ගුල්ලාගේ හානිය ඉතා සුළු වේ.

අස්වනු හා පසු අස්වනු පිළිවෙත්

අස්වනු නෙලීම

4 වන වර්ෂයේ සිට ඵල දැරීම ආරම්භ වේ. ඵල පරිණත වීමට මාස 5 ක් පමණ ගත වේ. කහ සිට තැඹිලි පාටින් ඇති සම්පූර්ණයෙන්ම ඉදුණු පලතුරු පමණක් තියුණු පිහියක් භාවිතයෙන් නෙලා ගැනේ. නෙලාගත් වහාම ලී අතකොලුවක් භාවිතයෙන් ඵල විවෘත කර බීජ ගෝනි බෑග් වලට එක් රැස් කර ගත යුතුය.

පිරිසැකසුම

නිසි ලෙස පැසවීම සහ පිරියම් කිරීම නොකළහොත් එම කොකෝවා බීජ වලට ඇත්තේ මඳ වාණිජමය වටිනාකමකි. පැසවීම පිටුපස ඇති ප්‍රධාන මූලධර්මය වන්නේ කලලය මරා දැමීම වන අතර එම ක්‍රියාවලියෙන් පසුව පමණක් රසය හා සුවඳ වර්ධනය වේ. පැසවීම අවසානයේ ඇති කැපී පෙනෙන භෞතික වෙනස නම් ගැඹුරු දම් පැහැය සහිත ෆොරස්ටෙරෝ වර්ගය චොකලට් දුඹුරු පැහැයටත් ක්‍රියෝලෝ වර්ගය කහ සිට කුරුඳු දුඹුරු වර්ණය දක්වාත් වෙනස් කිරීමයි. හොඳින් පැසවන ලද කොකෝවා නිපදවීමේ ක්‍රම කිහිපයක් තිබේ. ඒවා නම් දහඩිය පෙට්ටි පැසවීම, ගොඩවල් පැසවීම, තැටි පැසවීම සහ කොටු පැසවීම ය. මෙම ක්‍රමය තෝරා ගැනීම නිෂ්පාදන පරිමාණය, පිරිවැය සහ ශ්‍රමය ලබා ගැනීමේ හැකියාව මත රඳා පවතී. කොකෝවා ප්‍රභේදය මත පදනම්ව පැසවීම සඳහා ගතවන කාලය දින 2-6 දක්වා වෙනස් වේ. ක්‍රියොලෝ වර්ගයේ බීජ පැසවීම සඳහා ගතවන කාලය දින 1-2 ක් වන අතර ෆොරස්ටෙරෝ වර්ගය සඳහා ගතවන කාලය දින 5-6 කි. නානු ඉවත් කිරීම සඳහා පැසවන ලද බීජ සෝදිය යුතු අතර, වැඩිදුර පිරි සැකසුම් සඳහා අව්වේ වියලීම හෝ වියළීමේ උපකරණ භාවිතා කර වේලා ගත යුතුය.

සම්මත තත්ත්ව පිරිවිතර

අන්තර්ජාතික කොකෝවා ප්‍රමිතීන්ට අනුව පැසවීම සඳහා අලෙවි කළ හැකි, හොඳින් වේලා ලද දුම් ගසන බීජ වලින්, අසාමාන්‍ය හෝ ආගන්තුක දුර්ගන්ධයන්ගෙන් තොර සහ බාල කිරීමේ ද්‍රව්‍යවලින් තොර බීජ අවශ්‍යය.

1 ශ්‍රේණිය
II ශ්‍රේණිය
III ශ්‍රේණිය

ඖෂධීය හා රසායනික ගුණාංග

කොකෝවා ඉහළ පෝෂණ අගයක් ඇත. සමස්ත කොකෝවා බීජ වල වියළි බරෙන් 50-57% ලිපිඩ හෝ කොකෝවා බටර් වේ. කොකෝවාහි මේද රහිත ඉතිරි ද්‍රව්‍යවලින් ස්කන්ධයෙන් 20% ක් ප්‍රෝටීන්, 16% ක් පිෂ්ඨය, 26% ක් තන්තු, 5% අළු සහ 33% ක් පමණ ද අනෙකුත් සංරචක වේ. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක් වන ට්‍රිප්ටෝෆාන් ද එහි අඩංගු වේ. කොකෝවා අත්‍යවශ්‍ය ඛනිජ, විශේෂයෙන් යකඩ, තඹ, පොටෑසියම් සහ මැග්නීසියම් වලින් පොහොසත් ය. කොකෝවා බටර් සෑදී ඇත්තේ 34% ක් පමණ ස්ටියරික් අම්ලය, 34% ඔලෙයික් අම්ලය, 25% පැල්මිටික් අම්ලය සහ 2% ලිනොලනික් අම්ලයෙනි.

කොකෝවා සහ චොකලට් වලට මෑතකදී විද්‍යාත්මක පර්යේෂණ උනන්දුව වැඩි වී ඇත්තේ ප්‍රධාන වශයෙන් ඒවායේ ශාක රසායන සංයුතිය නිසා ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ නිසාය. පොලිප්‍රොනෝල්, නිශ්චිතවම සඳහන් කරනනේ නම් රතු වයින් සහ හරිත තේ වල මෙන් ප්‍රති-ඔක්සිකාරක ගුණ ලබා දෙන ෆ්ලේවනොයඩ්ස්වලින් අතිශයින් පොහොසත් ය. චොකලට් සාමාන්‍යයෙන් මිනිසුන් තුළ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නොදමන බවට සාධක ඇති අතර ඇතැම් ප්‍රෝසියානයිඩින් වල ජෛව ක්‍රියාකාරිත්වය නිසා හෘද වාහිනී රෝග සෑදීමේ අඩු අවදානමක් ඇති බවටද සාක්ෂි ඇත. සැකසුම් නොකරන ලද කොකෝවා බීජ වල වලින් 15% ක් පමණ වියළි බර පොලිපෙනෝල් අඩංගු වන අතර ඉන් 60% ක් පමණ ප්‍රෝසියානයිඩින් වන අතර එය පිරිසැකසුම් කිරීම සමඟ පහත වැටේ. කොකෝවා සංඝටකවල ප්‍රතිඔක්සිකාරක ගුණ සඳහා මේවා ප්‍රධාන වශයෙන් හේතු වේ. තව ද, ෆ්ලේවනෝල් රෝග සුව කිරීමේ ගුණාංග කෙරෙහි අනුබලයක ලබා දෙන අතර, චර්මීය රුධිර වහනය,හිරු එළියෙන් ආරක්ෂ කිරීම වැඩි කිරීම සහ සමේ සෞඛ්‍යය පවත්ව නෙ යාමට දායක වීම ද ඇතුලත්ව වෙනත් සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් එයට ඇත.

පොලිෆෙනෝල් වලට අමතරව, කොකෝවාහි තියොබ්‍රොමින් සහ කැෆේන් අඩංගු වන අතර ඒවා මෙතිල්සැන්තීන් සංයෝග වේ. කැෆේන් ප්‍රමාණය තියෝබ්‍රොමින් ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු ය. තියෝබ්‍රොමින් ඉහළ ජෛව ක්‍රියාකාරිත්වයකින් යුත් අතර එයට බහු ජෛව විද්‍යාත්මක ක්‍රියාකාරකම් ඇත. එය මස්තු එච්ඩීඑල් කොලෙස්ටරෝල් වැඩි කිරීම, හෘද පේශි උත්තේජනය කිරීම, පෙනහළු වල ක්ලෝම සිනිඳු මාංශ පේශි ලිහිල් කිරීම, අන්තර් සෛල සඥා සම්ප්‍රේෂණය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව සහ එයට මානසික අවපීඩන ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමේ දී ඵලදායී විය හැකි ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරකමක් සහ   ස්නායු ඥානාත්මක බලපෑම් ඇති බව ද පෙන්වා ඇත. තියෝබ්‍රොමින් ඇතුළු කොකෝවා හි බොහෝ උද්භිද විද්‍යාත්මක කාරකයන්ට පාරජම්බුල කිරණවලට නිරාවරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස සමේ ජනනය වන ප්‍රතික්‍රියාශීලී ඔක්සිජන් බැහැර කළ හැකිය.

කෙකෝවා බටර් පිළිස්සුම්, කැස්ස, වියළි තොල්, මැලේරියාව, රූමැටික් උණ, සර්ප දෂ්ට කිරීම් සහ තුවාල සඳහා ප්‍රතිකාර කිරීමේ දී අත් බෙහෙතක් ලෙස භාවිතා වේ. එය විෂබීජ නාශකයක් සහ මූත්‍රා වැඩිකිරීමේ සංඝටයක් ලෙසද වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න