කෝපි

කෝපි

Coffea arabica, Coffea robusta
කුලය : Rubiaceae

ගසෙහි ශක්තිය ආරක්ෂා කිරීමට සහ අස්වැන්න නෙළීමේ පහසුව සඳහා කෝපි ගස් කප්පාදු කරන නමුත් එය අඩි 30 (මීටර 9) ට වඩා උසට වැඩෙන ගසකි. සෑම ගසක්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස යුගල වශයෙන් වැඩෙන කොළ පැහැයෙන් යුත් මතුපිට ඉටි වැනි පත්‍ර වලින් ආවරණය වී ඇත. අතු දිගේ කෝපි ගෙඩි සෑදෙයි. අඛණ්ඩ චක්‍රයක් ලෙස කෝපි ඵල දරණ බැවින්, එකම ගසක එකවර මල්, කොළ පැහැති ගෙඩි සහ ඉදුණු ගෙඩි දැකීම අසාමාන්‍ය සංසිද්ධියක් නොවේ. පළමු මල් පිපීමෙන් පසු ගෙඩි පරිණත වීමට වසරකට ආසන්න කාලයක් ගත වන අතර සම්පූර්ණ ඵල දැරීම කරා ළඟා වීමට වසර 5 ක පමණ කාලයක් ගතවේ. කෝපි ගසක ආයු කාලය වසර 100 ක් පමණ වන මුත් ඒවා හොඳින් ඵල දරන්නේ වයස අවුරුදු 7 ත් 20 ත් අතර වේ. ප්‍රභේදය අනුව නිසි නඩත්තුව මඟින් වසර ගණනාවක් තිස්සේ ඒවායේ නිෂ්පාදනය පවත්වා ගෙන යාම හෝ ඉහල නැංවීම කළ හැකිය. සාමාන්‍ය කෝපි ගසක් වසරකට කෝපි ගෙඩි රාත්තල් 10 ක් හෝ කොළ පැහැ ගෙඩි රාත්තල් 2 ක් නිෂ්පාදනය කරයි. වාණිජමය වශයෙන් වගා කරන ලද කෝපි සියල්ලම ලෝකයේ කෝපි තීරය නමින් හැඳින්වෙන ප්‍රදේශයකින් පැමිණි ඒවා වේ. ගුණාත්මක පස, සෞම්‍ය දේශගුණය, නිරන්තර වැසි සහ සෙවන සහිත පරිසරයේ කෝපි හොඳින් වැවේ.

ඉතිහාසය

වර්ෂ 1503 දී අරාබිවරුන් ශ්‍රී ලංකාවට කෝපි හඳුන්වා දී ඇත. අතීතයේ ශ්‍රී ලංකාව වසරකට කෝපි ටොන් 50 000 කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කර ඇත. නමුත් 1870 දී කෝපි මලකඩ රෝගය නම් දරුණු රෝගයක් හේතුවෙන් කෝපි වගාව විනාශ විය. මෑතකාලීනව රබර් සහ තේ වගාව මගින් කෝපි වගාව ප්‍රතිස්ථාපනය කර තිබේ. එබැවින් වසරකට කෝපි ටොන් 600 කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර කරනු ලබයි. මලකඩ රෝගයට ඔරොත්තු දෙන්නා වූ හැකි ඇරබිකා ප්‍රභේදය සහ දෙමුහුන් ප්‍රභේද නිසා කෝපි වගාවන් නැවත ජනප්‍රිය විය.

ප්‍රධාන වගා කරන ප්‍රදේශ

මීටර් 800 ට වඩා උන්නතාංශයක් ඇති තෙත් සහ අතරමැදි කලාපවලට අරාබිකා වර්ගයේ කෝපි සඳහා හිතකර වේ. වැඩි වශයෙන් වගා කරන දිස්ත්‍රික්ක වන්නේ නුවරඑලිය, මහනුවර, මාතලේ සහ බදුල්ල ය. රොබස්ටා වර්ගයේ කෝපි මීටර 800 ට වඩා අඩු උන්නතාංශයකට අයත් ප්‍රදේශවල හොඳින් වැවේ. රොබස්ටා ප්‍රධාන වශයෙන් වගා කරන්නේ කෑගල්ල, කුරුණෑගල, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වලය. ශ්‍රී ලංකාවේ කෝපි වගාවේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 60580 ක් පමණ වේ.

ප්‍රභේද

කෝපි රුබියාසියේ කුලයට අයත් වේ. එහි ප්‍රභේද 60 ක් පමණ ඇත. අරාබිකා සහ රොබස්ටා ආර්ථික වශයෙන් වැදගත් ය. ලයිබෙරිකා කෝපි වාණිජමය වශයෙන් ශ්‍රී ලංකාවේ වගා නොකෙරේ.

අරාබිකා කෝපි (Coffea arabica)

අරාබිකා කෝපි ප්‍රභේදයට ඉතියෝපියානු සම්භවයක් ඇත. මීටර් 800 ට වඩා වැඩි උන්නතාංශ සහිත සිසිල් දේශගුණයක් සහිත ප්‍රදේශ වගාව සඳහා සුදුසු වේ. කෝපි ශාකය කුඩා බැවින් කළමනාකරණය කිරීම පහසුය. අමු කෝපි කිලෝග්‍රෑම් 5 කින් පමණ සැකසූ කෝපි කිලෝග්‍රෑම් 1 ක් පමණ නිෂ්පාදනය කළ හැකිය. ඇරබිකා ස්වපරාගණය සිදුකරන ශාකයකි. එබැවින් බීජ මගින් ප්‍රචාරණය කළ හැකිය. ඉහල ගුණාත්මයේ රසය සහ සුවඳ නිසා අරාබිකා කෝපිවලට වෙළඳපොලේ ඉහළ මිලක් ඇත. HTD, S09, කැටිමූර්, ලක්පැරකුම්, ලක් සවිරු සහ ලක් කොමලී ඉහළ අස්වැන්නක් ලබා දෙන කෝපි වර්ග වේ. සමහර ප්‍රභේද කෝපි මලකඩ රෝගයට ප්‍රතිරෝධී වේ.

රොබස්ටා කෝපි (Coffea canephora)

මෙම කෝපි වර්ගයේ සම්භවය සිදුව ඇත්තේ අප්‍රිකාවේ ය. මීටර් 800 ක උන්නතාංශයක් දක්වා තෙත් සහ අතරමැදි කලාපවල වගා කළ හැකිය. අමු කෝපි කිලෝග්‍රෑම් 4.5 සිට 5 දක්වා ප්‍රමාණයකින් සැකසූ කෝපි කිලෝග්‍රෑම් 1 ක් නිපදවිය හැකිය. අළුතින් හඳුන්වා දෙන ලද ප්‍රභේද වන්නේ IMY, S274, GCR, CCI, ලංකා චන්ද්‍ර, ලංකා බිම්සර සහ ලංකා ඉසුරු ය.

ලයිබෙරිකා කෝපි

ගස් විශාලව වැවේ. වාණිජමය වශයෙන් වගා නොකෙරේ. මෙම කෝපි තිත්ත රසයෙන් යුක්තය. කෙසේ නමුත්, මැලසියාව සහ මැද පෙරදිග රටවල ඉල්ලුමක් පවතී.

පාංශු හා දේශගුණික අවශ්‍යතා

පස

පාංශු pH අගය 5 සිට 6.5 දක්වා තිබීම වඩා හිතකරය. පස අධික ආම්ලික නම් ඩොලමයිට් යෙදීම නිර්දේශ කෙරේ. හොඳින් ජලය බැස යන ලැටසොලික් පස ඇරබිකා කෝපි සඳහා සුදුසු ය. රොබස්ටා කෝපි විවිධ පාංශු වර්ගවල වගා කළ හැකිය.

උන්නතාංශය:

ඇරබිකා කෝපි සඳහා මීටර 800 ට වැඩි උන්නතාංශ සුදුසු වන අතර මීටර් රොබස්ටා කෝපි සඳහා 800 තෙක් උස් භූමි සුදුසු වේ. කැටිමූර් යනු ඉහළ හා පහළ උන්නතාංශවල වගා කළ හැකි දෙමුහුන් වර්ගයකි.

උෂ්ණත්වය සහ වර්ෂාපතනය:

අරාබිකා රොබස්ටා
මධ්‍ය වාර්ෂික වාර්ෂික වර්ෂාපතනය 1500-2750mm 1750mm සහ ඊට වැඩි
මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය 18-24 C 27-29 C

සුළඟ:

නිරන්තර දැඩි සුළඟ කෝපි සඳහා සුදුසු නොවේ. දැඩි සුළං ප්‍රදේශවල කෝපි වගා කරන්නේ නම් සුළං බාධක යොදා ආවරණය කළ යුතුය.

බෝග ස්ථාපනය

බීජ මගින් ප්‍රචාරණය හා වර්ධක ප්‍රචාරණය සිදු කළ හැකිය. නමුත් බීජ මගින් ප්‍රචාරණය කිරීම පහසු සහ ලාභදායී වේ. බීජ මගින් ප්‍රචාරණය සිදු කරන්නේ නම් පළිබෝධ සහ රෝගවලින් තොර මව් ශාක වලින් මේරූ ඉදුණු ගෙඩි තෝරා ගත යුතුය. පිට පොත්ත පරිස්සමින් ඉවත් කළ යුතු අතර බීජ වටා ඇති පල්පය ලී කුඩු වලින් ඇතිල්ලීමෙන් ඉවත් කළ යුතුය. බීජ රෝපණය කරනු ලබන්නේ තෙත් වැලි පාත්තිවල වන අතර බීජ අතර සෙන්ටිමීටර 0.5 ක පරතරයක් සහ බීජ පේළි අතර සෙන්ටිමීටර 2.5 ක පරතරයක් තිබිය යුතුය. ඉන්පසු බීජ සෙන්ටිමීටර 5 ක ඝන පිදුරු තට්ටුවකින් ආවරණය කරනු ලැබේ. බීජ ප්‍රරෝහණය සඳහා දින 45 ක් පමණ ගත වේ. පැළවී බොත්තම් අවධියට පත්වන විට බීජ පැල මතුපිට පස්, වැලි, කොහු බත් හා කොම්පෝස්ට් සමාන කොටස්වලින් පුරවන ලද 12.5cm X 20cm පොලිතින් බෑග් වල සිටුවනු ලැබේ.

ක්ෂේත්‍රයේ සිටුවීම

පරතරය: ඇරබිකා 1.8m X 1.8m (හෙක්ටයාරයකට පැල 3000)
රොබස්ටා 2.5m X 2.5m තනි කඳ හෝ ද්විත්ව කඳන් (පැල 1600 / හෙක්ටයාර්)
3m X 3m බහු කඳ (පැල 1150 / හෙක්ටයාර්)
රෝපණ වලවල් සාරවත් පසෙහි 45X45X45cm විය යුතුය. අඩු සාරවත් පසෙහි එය 60X60X60 සෙ.මී. කෙත්වල සිටුවීමට පෙර ගව ගොම කිලෝග්‍රෑම් 25 ක් හෝ කොම්පෝස්ට් ග්‍රෑම් 100 ක් රොක් පොස්පේට් සමඟ මිශ්‍ර කළ යුතුය.
කෙත්වල සිටුවීමෙන් පසු වසුන් පැලෑටි වියළීමෙන් ආරක්ෂා කර ගැනීම වැදගත් වේ.

බෝග කළමනාකරණය

ශාක වටා වල් නෙලීම වැදගත් වේ. කැලපගෝනියා හෝ ස්ටයිලෝසැන්තස් සමඟ වසුන් කිරීම නිර්දේශ කෙරේ.

සෙවන

සෙවන ඇතිව හෝ නැතිව කෝපි වගා කළ හැකිය. අවශ්‍ය සෙවන මට්ටම රඳා පවතින්නේ උන්නතාංශය, පාංශු තෙතමනය, වර්ෂාපතන රටාව සහ කෝපි ප්‍රභේදය මත ය. මීටර් 12 X12 හෝ මීටර් 14X14 පරතරය සහිතව ග්ලිරිසීඩියා, එරබදු, ඇල්බීසියා වරනි ශාක සෙවන සහිත ගස් ලෙස භාවිතා කළ හැකි වේ. සෙවන ගස් පිහිටුවීම මාස 6 සිට 12 දක්වා කෝපි වගාවට ප්‍රථමව සිදු කළ යුතුය. කෝපි සඳහා තාවකාලික සෙවන සැපයීම සඳහා කෙසෙල් වගාව හොඳ විකල්පයකි.

කප්පාදු කිරීම

රොබස්ටා කෝපි සඳහා එක් කඳක් හෝ බහු කඳන් තිබීමට වඩා පැළයකට කඳන් දෙකක් නඩත්තු කිරීම සුදුසුය. කෝපි ගස මීටර් 2 ට වඩා අඩු උසකින් පවත්වා ගත යුතුය. සියලු කෝපි වගාවන් සඳහා පාදස්ථ කප්පාදු කිරීම නිර්දේශ කරනුයේ එය ශාකයට හදිසි ආතතියක් වන බැවින් වන අතර, එය වැසි සමයේ මැදදී කළ යුතු ය. කප්පාදු කිරීම බිම් මට්ටමේ සිට සෙ.මී. 15 සිට 20 උසින් අංශක 45 ක ඇලයට සිදු කල යුතු අතර, කැපුම් මතුපිට දිලීර නාශක හෝ ලැකර් යෙදිය යුතුය.

මිශ්‍ර බෝග

ගම්මිරිස්, කරාබු, සාදික්කා, පොල් සහ තේ සමඟ මිශ්‍ර බෝගයක් ලෙස කෝපි වගා කළ හැකිය.

පොහොර යෙදීම

රොබස්ටා

යල සහ ම‍හ කන්නයට පෙරයල සහ මහ කන්නයට පසු
1 වන වසර63g63g
2 වන වසර250g
3 වන වසර350g

ඇරබිකා

යල සහ ම‍හ කන්නයට පෙරයල සහ මහ කන්නයට පසු
1 වන වසර50g50g
2 වන වසර150g
3 වන වසර200g

ඉහත පොහොර ප්‍රමාණයන් “තේ පොහොර” හෝ පහත දැක්වෙන පොහොර මිශ්‍රණයෙන් ලබා ගත හැකිය.

  අනුපාත පෝෂක
යූරියා (46% N) 4 14% N
රොක් පොස්පේට් 28% P2O5) 5 11% P2O5
මියුරියේට් ඔෆ් පොටෑෂ් (60% K2O) 3 14% K2O
කීසරයිට් 24 % MgO 1 2% MgO

භෝග ආරක්ෂණය

නෙමටෝඩාවන් සහ ගොළුබෙල්ලන් පැල තවාන්වලට හානි කරයි. ඊට අමතරව තවාන් පැලෑටිවල දියමලන් කෑම නම රෝගී තත්වය ඇතිවේ. මනා ජලාපවහනය එයට පිළියමයි.

රෝග

කෝපි මලකඩ රෝගය: කෝපි මලකඩ රෝගය යනු අතීතයේදී දරුණු රෝගයකි. නමුත් වර්තමානයේ මලකඩ රෝගයට ඔරොත්තු දෙන ප්‍රභේද හඳුන්වා දී ඇත. කෝපි මලකඩ රෝගයට 05% බොඩෝ මිශ්‍රණය යෙදීම නිර්දේශ කෙරේ. ඇරබිකා කෝපි අධික ලෙස මෙම රෝගයට ගොදුරු වේ
කළු දිලීර රෝගය: පත්‍ර මත කළු දිලීර වැඩීම නිසා ප්‍රභාසංශ්ලේෂණය අඩු වේ. කොළ පතනය සිදුවිය හැකිය. 1% පිටි යෙදීම නිර්දේශ කෙරේ.
ඇන්ත්‍රැක්නෝස්: ගෙඩි සහ කොළ මත දුඹුරු වර්ණ ලප ඇතිවේ. ගස ක්‍රමයෙන් මිය යාම සිදුවිය හැකිය. 1% බොඩෝ මිශ්‍රණ යෙදීම නිර්දේශ කෙරේ. සෙවන අඩු කිරීම ද සුදුසු ය.

පළිබෝධකයන්

කෝපි ගෙඩි විදින්නා: කෝපි ගෙඩිවලට හානි කරයි. මෙම හානිය පාලනය කර ගැනීම සඳහා ක්ෂේත්‍ර සනීපාරක්ෂාව වැදගත් ය. වැටුනු ගෙඩි ක්ෂේත්‍රයෙන් ඉවත් කළ යුතුය. වරණීය ලෙස අස්වැන්න නෙලීමෙන් වැළකී සිටිය යුතුය.
එම Xyleborus morstatti ට අමතරව, Anomala Sp සහ කොරපෙතු කෘමීන් කෝපි ගසට හානි කරයි.

පසු අස්වනු පිළිවෙත්

කෝපි වල වරණීය ලෙස අස්වැන්න නෙලීම සිදු කෙරේ. තෙත් ක්‍රමය සහ වියලි ක්‍රමය යන දෙආකාරයකින් කෝපි සැකසීම සිදු කෙරේ.

වියළි ක්‍රමය:
සම්පූර්ණයෙන්ම ඉදුණු ගෙඩි නෙළා ගනී. හානියට පත් ගෙඩි ඉවත් කර හිරු එළියෙන් වියළා ගනී. පිට පොත්ත වියළීමෙන් පසු ඉවත් කරනු ලැබේ. මෙම කෝපි චෙරි කෝපි ලෙස හැඳින්වේ.

තෙත් ක්‍රමය:
ඉදුණු ගෙඩි නෙළා ගන්නා අතර අස්වැන්න නෙළා පැය 10 ක් ඇතුළත “පල්පර් යන්ත්‍රය” භාවිතයෙන් පිටත ස්ථර ඉවත් කරනු ලැබේ. ඉන්පසු බීජ පැසවීම සඳහා පැය 24 සිට 48 දක්වා පැදුරකින් ආවරණය කරයි. ඉන්පසු සෝදා හිරු එළියෙන් වියළා ගනී. මෙම කෝපි පාච්මන්ට් කෝපි ලෙස හැඳින්වේ. එය චෙරි කෝපි වලට වඩා ඉහල ගුණාත්මයෙන් යුක්තය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න