ගම්මිරිස්

ගම්මිරිස්

Piper nigrum L.
කුලය: Piperaceae

ඉතිහාසය

“කුළුබඩු වල රජ” ලෙස හැඳින්වෙන ගම්මිරිස් ලෝකයේ බහුලවම භාවිතා වන කුළුබඩු වර්ගයක් වේ. ගම්මිරිස් වගාව දකුණු ආසියාවට ඒකදේශික වන අතර ඓතිහාසික වාර්තාවලින් හෙළි වන්නේ ගම්මිරිස් දකුණු ඉන්දියාවේ සම්භවය වූ බවයි. “කළු රත්රන්” ලෙසද නිතර හඳුන්වූ ගම්මිරිස් කරල් ඉතා වටිනා වෙළඳ භාණ්ඩයක් වූ අතර එය බොහෝ විට අතර එය මුදල් ලෙස භාවිතා විය. මධ්‍යතන යුගයෙන් පසුව යුරෝපයේ, මැදපෙරදිග හා උතුරු අප්රිකාවේ දක්නට ලැබෙන කළු ගම්මිරිස් සියල්ලම පාහේ පැමිණියේ ඉන්දියාවේ මලබාර් ප්‍රදේශයෙන් ය. ඉන්දියාවට මුහුදු මාර්ගයක් සොයා ගැනීමට යුරෝපීය ප්‍රයත්නවලට තුඩු දුන් හේතුව වූයේ මෙම කුළුබඩුවේ ඉහල වටිනාකම වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව යුරෝපීය යටත් විජිතකරණයට ලක්වීම ද යුරෝපීයයන් ඇමරිකා එක්සත් ජනපදය සොයා ගැනීම සහ ඒවා යටත් විජිත බවට පත්කර ගැනීම ද සිදුවිය. වියට්නාමය, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව සහ බ්‍රසීලය ලෝකයේ ප්‍රධාන ගම්මිරිස් නිෂ්පාදකයින් වේ.

නිෂ්පාදන සහ ප්‍රයෝජන

මුළු ඵලයම වියලීම මගින්, ගම්මිරිස් බොහෝ දුරට කළු ගම්මිරිස් ලෙස නිපදවනු ලැබේ. පිටත ගම්මිරිස් ඵලාවරණය ඉවත් කිරීමෙන් සුදු ගම්මිරිස් නිපදවන අතර කැබලි කරන ලද හා ඇඹරූ ආකාරවලින් ද ලබා ගත හැකිය. හරිත හා ඉදුණු ගම්මිරිස් කුඩා ප්‍රමාණයක් ලුණු අච්චාරු දැමීම සිදු කරන අතර, විජලනය කළ අමු ගම්මිරිස් සහ කල්තබා ගැනීමට සකස් කළ ඉදුණු ගම්මිරිස් ද වෙළඳාම සඳහා භාවිතා කරයි. ගම්මිරිස් තෙල් සහ ඔලියෙරොසින් ද අගය එකතු කළ නිෂ්පාදන ලෙස අලෙවි කරනු ලැබේ.
ගම්මිරිස් ප්‍රධාන වශයෙන් ආහාර කර්මාන්තයේ දී කුළුබඩුවක් සහ රසකාරකයක් ලෙස භාවිතා කරයි. තවද එය සුවඳ විලවුන් හා ඖෂධ කර්මාන්තවල භාවිතයක් ද ඇත.

ප්‍රධාන වගා කරන ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් ගම්මිරිස් වගා කරනු ලබන්නේ පහතරට හා මැදරට තෙත් සහ අතරමැදි කෘෂි දේශගුණික කලාපවල ය. ශ්‍රී ලංකාවේ ගම්මිරිස් ප්‍රමාණය හෙක්ටයාර 42,989 ක් පමණ වන අතර මාතලේ, මහනුවර, කෑගල්ල, බදුල්ල, රත්නපුර, මොණරාගල සහ කුරුණෑගල ගම්මිරිස් වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක වේ.

ප්‍රභේද

කළු ගම්මිරිස්වල සම්භවය ඉන්දියාවේ මලබාර් වෙරළ තීරය ආශ්‍රිතව සිදු වූයේ යැයි විශ්වාස කළද, ශ්‍රී ලංකාව ද වල් ගම්මිරිස් වර්ග ගණනාවක නිවහනකි. ශ්‍රී ලංකාවෙන් හමු වූ P. nigrum L හි විශාල ජාන විචල්‍යතාවය සහ ගම්මිරිස් වල් භේදවලට ඥාතීත්වයක් පැවතීම සැලක්ල්ලට ගන්නා විට, ශ්‍රී ලංකාව ද ගම්මිරිස්වල නිජබිමක්ලෙස විශ්වාස කෙරේ. වාණිජ කළු ගම්මිරිස් වෙළඳාම පවතින සමයේ සිට සමහර වාණිජ කළු ගම්මිරිස් ප්‍රභේද ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. ඉහළ අස්වැන්නක් සහිත ගම්මිරිස් ප්‍රභේද වන ඉන්දියාවෙන් “පැනියුර් -1” සහ මැලේසියාවෙන් “කුචින්” 1970 ගණන්වලදී හඳුන්වා දුන් නමුත් MB12 සහ GK 49 ඉහළ අස්වැන්නක් සහ උසස් ගුණාත්මයක් ලබා දෙන දේශීය වරණ වන අතර ඒවා කළු ගම්මිරිස් වගා කරන්නන් අතර ජනප්‍රියය.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ඩිංගි රාල, කොහුකුඹුරේ රාල සහ බූටෑවේ රාල නමින් නව දෙමුහුන් වර්ග තුනක් හඳුන්වා දී ඇත.

  ඩිංගි රාල බූටාවේ රාල කොහුකුම්බුරේ රාල
දෙමව්පියන් පැනියූර්1 x GK 49 පැනියූර්1 x DM 7 MW 21 x පැනියූර්1
ශුකියක දිග 12cm 14cm 12cm
පිරවීමේ ප්‍රතිශතය 80% 80% 80%
අස්වැන්න වසරක දී වැලකට 2245g වසරක දී වැලකට 2724g වසරක දී වැලකට 2340g
වියළි බර අනුපාතය 327:1 327:1 246:1
ඔලියෙරොසින් ප්‍රතිශතය 12.9% 12.9% 15.4%
තෙල් ප්‍රතිශතය 2.8% 3.1% 3.6%
පයිපෙරීන් ප්‍රතිශතය 5.6% 6.3% 6%
ලීටර් 01 ක බර 571.86g 490.88g 613.43g
බීජ 1000ක බර 63.44g 47.19g 53.31g

පාංශු සහ දේශගුණික අවශ්‍යතා

පස

අවම ගැඹුර සෙන්ටිමීටර 60 ක් ඇති කාබනික ද්‍රව්‍ය වලින් පොහොසත් හොඳින් ජලය බැස යන ලෝම පසෙහි ගම්මිරිස් වඩාත් හොඳින් වැඩේ. මැටි පස මුල් වර්ධනය සීමා කරන අතර කෙටි වියළි කාලවලදී තෙතමන ආතතිය ඇති කරයි. ජලවහනය දුර්වල පස් බොහෝ පාංශු රෝග වලට තුඩු දෙයි. පාංශු පීඑච් අගය 5.5 සිට 6.5 දක්වා පවත්වා ගැනීම වඩා හොඳය. රතු කහ පොඩ්සොලික්, රතු දුඹුරු ලැටසොලික් සහ නොමේරූ දුඹුරු ලෝම පස් ගම්මිරිස් වගාවට සුදුසු ය. ජලවහනය දුර්වල හා ඛාදනය වූ නොගැඹුරු පස් මෙම වගාවට සුදුසු නොවේ.

උන්නතාංශය: මුහුදු මට්ටමේ සිට මීටර් 800 ක් පමණ උන්නතාංශය.

වාර්ෂික වර්ෂාපතනය: මි.මී. 1750 ට අඩු නොවිය යුතුය. අතිරේක ජල සම්පාදනය සඳහා පහසුකමක් නොමැති නම් දීර්ඝ නියඟ සහිත ප්‍රදේශ ගම්මිරිස් වගාවට යොදා නොගත යුතුය. මල් හට ගැනීම උත්තේජනයට සහ පරාගනයට පැහැදිලි වියළි කාලයක් සහ ප්‍රමාණවත් වර්ෂාපතනයක් තිබිය යුතුය.

උෂ්ණත්වය: ශාක සෙල්සියස් අංශක 15 – 35 උෂ්ණත්වයකට ඔරොත්තු දේ. ගම්මිරිස් වගා කිරීමට හොඳම උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 සිට 30 දක්වා වේ. තෙත් නිවර්තන කලාපවල වර්ධනය හා අස්වනු මට්ටම් වඩා හොඳය. තද සුළං හානිකර ය. එබැවින් ගම්මිරිස් වගාවට වඩාත් සුදුසු වන්නේ සුළං බාධක සහිත මැදරට සහ උඩරට ප්‍රදේශයි.

බෝග ස්ථාපිත කිරීම

රෝපණ ද්‍රව්‍ය

සාමාන්‍යයෙන් ගම්මිරිස් කඳ දඩු කැබලි භාවිතයෙන් වර්ධක ප්‍රචාරනය සිදු කරයි. වාණිජ වගාවන් සඳහා, අතු කැබලි තෝරාගනු ලබන්නේ අග්‍රස්ථ අතුවලින් සහ බිම් ධාවක වලිනි. දඩු කැබලි පාර්ශ්වීය අතුවලින් ලබා ගන්නේ නම් පඳුරු ආකාරයේ ගම්මිරිස් පැල නිෂ්පාදනය කළ හැකිය. තෝරාගත් මව් ශාකය ඉහළ අස්වැන්නක් ලබාදෙන, නිරෝගී සහ ප්‍රාණවත් වර්ධනයක් සහිත විය යුතුය. එ්වා කෙටි අන්තර් පර්ව දුර, දිගු කරල්, ඇටවලින් ශුකියම සම්පූර්ණයෙන් ආවරණය වූ, තද ඇට සහ පළිබෝධ සහ රෝග වලින් තොර විය යුතුය. විවිධ දේශගුණික කලාපවල ගම්මිරිස් වගා කරන බැවින් තෝරාගත් පෙළපත ප්‍රදේශයේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දිය හැකි විය යුතුය. දඩු කැබලි ආමානය 250 වූ, මතුපිට පස්, ගොම, වැලි සහ කොහු බත් සමාන කොටස් මිශ්‍රණයකින් පිරවූ 8 ”x5” පොලිතීන් මලුවල පැළ කරනු ලැබේ.

රෝපණය කරන ලද පොලිතීන් මලු සති 4 ක් සඳහා ආර්ද්‍රතා කුටියක් තුළ තබා ගත යුතුය. එයට වතුර දැමීම හා වල් නෙලීම සඳහා අර්ධ වශයෙන් විවෘත කළ යුතුය. ඉදිරි සති 2 සිට 3 දක්වා කාලය තුළ පොලිතින් ක්‍රමයෙන් ඉවත් කළ යුතුය. ආර්ද්‍රතා කුටියෙන් ඉවත් කිරීමෙන් පසුව තවාන් පැල සෙවන ගෘහයක තැබිය යුතු අතර අවසන් සති 3,4 තුළ දැඩි කිරීම සිදු කළ යුතුය. සමස්ථයක් ලෙස මාස 4-6 තවාන් කාල සීමාවක් පවත්වා ගත යුතුය.

ක්ෂේත්‍ර රෝපණය

තනි බෝගයක් ලෙස සහ පොල් සමග අතුරු බෝගයක් ලෙස පරතරය: මීටර් 2.4 x 2.4 පරතරය නිර්දේශ කෙරේ (හෙක්ටයාරයට පැල 1700).
ඉඩම් සැකසීමෙන් පසු 60cmx60cmx60cm වල රෝපණ වලවල් සාදා මතුපිට පස්, ගොම පොහොර හෝ කොම්පෝස්ට් මිශ්‍රණයෙන් පුරවනු ලැබේ.
ගම්මිරිස් වැල් සජීවී හෝ මියගිය ආධාරක මතට පුහුණු කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ සජීවී ආධාරක භාවිතා කරන අතර බහුලව භාවිතා වන ආධාරක ගස් ග්ලිරිසීඩියා (Gliricidia sepium) වේ. සමහරු Erythrina indica (එරබදු) හෝ Grevillea robusta භාවිතා කළ හැකිය. සෙන්ටිමීටර 3-5 ක විෂ්කම්භයක් සහ දිග මීටර් 2.5 ක් වන ග්ලිරිසිඩියා දඬු රෝපණ වළේ කෙළවරේ සෙන්ටිමීටර 20 ක් ගැඹුරට සිටුවිය යුතුය. ගම්මිරිස් සිටුවීමට ප්‍රමාණවත් සෙවනක් ලබා දීමට අවම වශයෙන් මාස 06 කට පෙර ආධාරක රෝපණය කළ යුතුය.
මෝසම් වැසි ආරම්භ වීමත් සමඟ ගම්මිරිස් වගා කිරීම සිදු කෙරේ. මාස 4-6 ක් පමණ වයසැති කොළ 5-8 ක් සහිත ශක්තිමත්ව වැඩෙන බඳුන්ගත කළ පැළ වලවල් වල සිටුවනු ලැබේ. රෝපණය කළ විගසම සෘජු හිරු එළියෙන් අතු කැබලි ආරක්ෂා කිරීම සඳහා තාවකාලික සෙවන ලබා දිය යුතු අතර පාංශු තෙතමනය සංරක්ෂණය කිරීම සඳහා සුදුසු වසුන් පාදමට යෙදිය යුතුය.

බෝග කළමනාකරණය

ගම්මිරිස් වැල් පුහුණු කිරීම හා කප්පාදු කිරීම

නව ගම්මිරිස් පැල ඇදීම පටන් ගන්නා විට, රෙදි පටි වැනි මෘදු ද්‍රව්‍යයක් ආධාරයෙන් ආධාරකයට බැඳ තැබිය යුතුය. වැල ගැට 8-10 දක්වා වර්ධනයවන විට අග්‍රස්ථ රිකිලි 3-4 ක් ආධාරකයට පුහුණු කිරීම සහ ප්‍රමාණවත් පාර්ශ්වීය ශාඛා සංඛ්‍යාවක් පුහුණු කර තිබීම අවශ්‍ය වේ. අග්‍රස්ථ අංකුර 2-3 ක් තිබීම වඩාත් ඵලදායී ස්ථම්භාකාර වියනක් ලබා දෙන අතර පාර්ශ්වීය ශාඛා සැලකිය යුතු සංඛ්‍යාවක් තිබීම ඉහළ අස්වැන්නක් සහතික කරයි (කරල් හටගන්නේ පාර්ශ්වීය අතු වලින් පමණි). 8-10 ගැට අවධියේදී අග්‍රස්ථ අංකුර නිපදවන්නේ නැත්නම් මුුදුන් රිකිලි 3-4 ක් උත්තේජනය කිරීම සඳහා ගම්මිරිස් වැල අග්‍රස්ථයෙන් කප්පාදු කිරීම කළ යුතුය.
අවුරුදු 3-5 කට පසු ගම්මිරිස් වැල ආධාරකයේ ඉහළට ගොස් හොඳ වියනක් සාදයි. මීටර් 3.5-4.0 ක උසකින් ගම්මිරිස් පැළයේ උස පවත්වා ගැනීමටත් හොඳ හැඩයකින් යුත් වියනක් සාදා ගැනීමටත් කප්පාදු කළ යුතුය.

සෙවන පාලනය සහ වසුන් යෙදීම

උපරිම උස මීටර් 4-5ක් පමණ වන පරිදි ග්ලිරිසීඩියා ආධාරකයේ ශාඛා වල උස හා සංඛ්‍යාව කප්පාදු කිරීමෙන් පාලනය කළ යුතුය. ග්ලිරිසීඩියා ගස් වසරකට අවම වශයෙන් 3 සිට 4 වතාවක් කප්පාදු කිරීම නිර්දේශ කරනු ලැබේ. තෙත් කලාපයේ වසරකට සිව් වතාවක් ග්ලිරිසීඩියා කප්පාදු කිරීම වාසිදායක වන්නේ ශ්‍රම පිරිවැය සහ අනවශ්‍ය සෙවන අඩු කරන බැවින් සහ ප්‍රමාණවත් වසුන් ද්‍රව්‍ය ද සපයන බැවිනි. ගසකට වසරකට කිලෝග්‍රෑම් 10 ක ග්ලිරිසීඩියා අතු යෙදීමෙන් අස්වැන්නේ කිසිදු අඩුවීමකින් තොරව අකාබනික පොහොර අවශ්‍යතාව 50% කින් අඩු කර ගත හැකි බව පර්යේෂණාත්මක සාක්ෂි පෙන්වා දී ඇත. ග්ලිරිසිඩියා සොයා ගැනීම දුෂ්කර නම් විකල්පයක් ලෙස, වියළි ගොම කිලෝග්‍රෑම් 16 ක් සහ කුකුළු පොහොර කිලෝග්‍රෑම් 12 ක මිශ්‍රණයක් වැලකට වසරකට යෙදිය හැකිය.

පොහොර යෙදීම

නිර්දේශිත මිශ්‍රණය – හෙක්ටයාරයකට කි.ග්‍රෑ 2380 (පාහින ලද ග්ලිරිසීඩියා අතුවලින් තොරව)

නිර්දේශිත මිශ්‍රණය – හෙක්ටයාරයකට 1190 kg (පාහින ලද ග්ලිරිසීඩියා අතු සමඟ)

මිශ්‍රණයේ අඩංගු සංඝටකබර අනුව කොටස් අඩංගු පෝෂක
යූරියා (46% N) 4 14% නයිට්‍රජන්
රොක් පොස්පේට් ( 28% P2O5) 5 11% P2O5
මියුරියේට් ඔෆ් පොටෑෂ් (60% K2O) 3 14% K2O
කීසරයිට් (24% MgO) 1 2% MgO
වගාවේ වයස මහ කන්නය (මිශ්‍රණයෙන් හෙක්ටයාරයකට කි.ග්‍රෑ.) යල කන්නය (මිශ්‍රණයෙන් හෙක්ටයාරයකට කි.ග්‍රෑ.)
පළමු වසර 250 250
දෙවන වසර 500 500
තුන්වන වසර සහ ඉන් ඉදිරියට 700 700
වගාවේ වයස මහ කන්නය (මිශ්‍රණයෙන් හෙක්ටයාරයකට කි.ග්‍රෑ.) යල කන්නය (මිශ්‍රණයෙන් හෙක්ටයාරයකට කි.ග්‍රෑ.)
පළමු වසර 125 125
දෙවන වසර 250 250
තුන්වන වසර සහ ඉන් ඉදිරියට 350 350

බෝග ආරක්ෂණ

රෝග

ගම්මිරිස් කහ මොට්ල් වෛරස් රෝගය

ගම්මිරිස් සඳහා වඩාත්ම හානිකර රෝගය වන්නේ ගම්මිරිස් කහ මොට්ල් වෛරස් (PYMV) රෝගයයි. ආරම්භයේ දී කහ පැහැති ලප ළපටි පත්‍ර මත දැකිය හැකි අතර පසුකාලීනව කහ විචිත්‍ර පැල්ලම් සහිත කුඩා, අක්‍රමවත් පත්‍ර, කෙටි පර්ව සහ අඩක් පුරවා ඇති ඇට සහිත කුඩා කරල් දෘශ්‍යමාන රෝග ලක්ෂණ වේ. ක්‍රමයෙන් අස්වැන්න පහත වැටේ. ගම්මිරිස් රේන්ද මකුණා, පිටි මකුණා සහ ආසාදිත රෝපණ ද්‍රව්‍ය හරහා මෙම රෝගය ව්‍යාප්ත වේ. නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතා කිරීම සහ ආසාදිත ශාක විනාශ කිරීම සහ රෝග වාහකයන් පාලනය හැර හඳුනාගත් වෙනත් පාලන පියවරයන් නොමැත.

ක්ෂණික මැලවීම

මෙම රෝගය ඇතිවන්නේ Phytophthora capsisi නම් දිලීරයකිනි. ශාකයේ පාදම මුලින්ම ආසාදනය වී පසුව වැලෙහි පාදස්ථ කොටස් කුණුවී එය මූල පද්ධතියට ද පැතිරේ. ආසාදනයට ලක් වූ විට, ශාක මැලවී සති 2-3 ක් තුළ මිය යයි. ජලාපවහනය වැඩිදියුණු කිරීම සහ සෙවන පාලනය කර ගැනීමෙන් රෝගය වළක්වා ගත හැකිය. රෝගී ආසාදිත ශාක කොටස් ඉවත් කර බෝඩෝ මිශ්‍රණය හෝ වෙනත් දිලීර නාශකයක් වැලෙහි පොළොවට ආසන්න කොටසට ඉසිය යුතු ය.
රසායනික පාලනය: රිඩොමිල් MS 72 WP (මැන්කෝසෙබ් 64% + මෙටලැක්සීන් 8%) ග්‍රෑම් 25 ක් ජලය ලීටර් 10 ක ද්‍රාවණය කර යෙදිය හැකිය.

සෙමෙන් මැලවීම

නියඟයෙන් පත්‍ර කහ පැහැයට හැරෙන නමුත් වර්ෂාවෙන් පසු සාමාන්‍ය තත්වයට පත්වේ. මෙම තත්වය වසරක් හෝ දෙකක් පමණ පවතින අතර අවසානයේ ශාක කහ පැහැයට හැරී මිය යයි. සෙමෙන් මැලවීම හේතුවෙන් ගම්මිරිස්වල අස්වැන්න 20-30% පමණ අඩුවන බව නිරීක්ෂණය කර ඇත. යාන්ත්‍රික හානි, නෙමටෝඩාවන් සහ කෘමි හානි හා දිලීර ආසාදන මගින් මූල පද්ධතියට වන හානිය ගම්මිරිස් සෙමෙන් මැලවීමට හේතුව වේ. නෙමටෝඩාවන් වළක්වා ගැනීම සඳහා කාබොෆ්‍යුරාන් ග්‍රෑම් 03 ක් බඳුනට හෝ කාබොෆ්‍යුරාන් ග්‍රෑම් 30 ක් රෝපණ වලට එක් කළ යුතුය. වසරකට සිව් වතාවක් පාහාන ලද ග්ලයිසීඩියා යෙදීම මගින් නෙමටෝඩාවන් සැලකිය යුතු ලෙස අඩු කරන බව පර්යේෂණාත්මක සාක්ෂි මගින් සනාථ කර ඇත. තත්වය බරපතල නම්, ආසාදිත ශාක උදුරා දමා විනාශ කළ යුතුය. නිසි ලෙස පාංශු සංරක්ෂණය හා පසෙහි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයන් පවත්වා ගැනීම රෝගය අවම කරයි. සත්‍ය හේතුව තහවුරු කිරීමෙන් පසු රසායනික ප්‍රතිකාර යෙදිය යුතුය.

පළිබෝධකයන්

රේන්ද මකුණා

රේන්ද මකුණා යනු PYMV රෝගයේ වාහකයෙකි. අවුරුද්ද පුරා කෘමීන් දැකිය හැකි වුවද වැසි සමයේදී ගහනය වේගයෙන් ඉහළ යයි. වැඩිහිටියන් පත්‍රයට යටින් බිත්තර දමනු ලබන අතර ශිශුවන් නොමේරූ ශාක කොටස් හා කරල් වලින් යුෂ උරා බොයි. කොළ මත දුඹුරු පැහැ ලප දැකිය හැකි අතර හානියට පත් කරල් ඇට අඩු ප්‍රමාණයක් සහිත හෝ සම්පූර්ණයෙන්ම ඇට රහිත විය හැක. මල් හට ගන්නා අවධියේදී හානියක් සිදු වූ විට සැලකිය යුතු අස්වැන්නක් අහිමි වීමක් දැකිය හැකිය. කෘමීන් පාලනය කිරීම සඳහා සෙවන පාලනය සහ වල්පැලෑටි පාලනය වැනි ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම වැදගත් වේ. හානිය බරපතල නම් රසායනික ප්‍රතිකාර යෙදිය හැකිය.

කඳ විදින්නන් සහ කොළ ආහාරයට ගන්නා දළඹුවන් අනෙකුත් වැදගත් පළිබෝධකයන් වේ.

අස්වනු නෙලීම හා පසු අස්වනු පිළිවෙත්

පරිණත වීමෙන් මාස 7-8 කට පසු ගම්මිරිස් අස්වනු නෙලනු ලැබේ. ඇට වෙන් කිරීම අතින් හෝ ඇට වෙන්කරන යන්ත්‍රයක් භාවිතයෙන් කළ හැක. ගම්මිරිස් ඇට හිරු එළයෙන් කෙලින්ම වියළා ගත හැකිය. නැත්නම් කෘත්‍රීම වියලනයක් භාවිතා කළ හැකිය. අව්වේ වියළීම සඳහා දින 4-6 ක් ගතවේ. ඒකාකාර කළු පැහැයක් ලබා ගැනීම සඳහා අමු ගම්මිරිස් උණු ජල ප්‍රතිකාරයට භාජනය කෙරේ. එහිදී අමු ගම්මිරිස් විනාඩි 03 ක් පමණ නටන තෙක් රත්කල ජලයේ ගිල්වීම සිදු කෙරේ (බ්ලාන්චින් කිරීම).  එමගින් වියළීමේ කාලය දින 2-3 කින් අඩු කරන අතර සිටින ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරයි. සුදු ගම්මිරිස් නිෂ්පාදනය කිරීම සඳහා සම්පූර්ණයෙන්ම ඉදුණු ඇට බීජාවරණය කුණුවන තෙක් දින 5-6 ක් පමණ ජලයේ ගිල්වනු ලැබේ. පසුව බීජාවරණය කම්බි දැලක් මත අතුල්ලමින් හෝ යාන්ත්‍රික පොතු ඉවත් කිරීමේ යන්ත්‍රයක් ​​භාවිතයෙන් ඉවත් කරනු ලැබේ. අනතුරුව ගම්මිරිස් බීජ හොඳින් සෝදා වියළා සුදු ගම්මිරිස් නිෂ්පාදනය කරයි.
එම කොළ ගම්මිරිස් වලට අමතරව, රෝස / රතු ගම්මිරිස්, ඇඹරූ ගම්මිරිස්, ගම්මිරිස් තෙල්, ගම්මිරිස් ඔලියොරෙසින් සහ ගම්මිරිස් සෝස් සහ ගම්මිරිස් ටොෆි සහ ජුජුබ් වැනි අගය එකතු කළ නිෂ්පාදන ද නිෂ්පාදනය කළ හැකිය.

සම්මත තත්ත්ව පිරිවිතර

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුමත කරන ලද තත්ත්ව ප්‍රමිතීන් පහත දැක්වේ

  විශේෂ ශ්‍රේණිය I ශ්‍රේණිය I FAQ  
පුස් සහිත් ඇට % 1 1 2
වෙනත් බාහිර ද්‍රව්‍ය% (කෘමීන් ජීවත් වේ හෝ
මිය ගිය, ගල්, වැලි, ශාක කොටස්, ක්ෂීරපායී මළ ද්‍රව්‍ය ආදිය)  
1 1 2
සැහැල්ලු බීජ % උපරිම 4   උපරිම 4 උපරිම 10
තෙතමනය % 12 14 14
පෙනුමමතුපිට රැලි සහිත තද කළු වර්ණය   තද කළු සිට දුඹුරු දක්වා
මතුපිට රැලි සමග කළු වර්ණය
 

ඖෂධීය හා රසායනික ගුණාංග

බයෝපෙරීන් යනු කළු ගම්මිරිස් (Piper nigrum) හෝ දිගු ගම්මිරිස් (Piper longum) ඇට වලින් ලබාගන්නා ප්‍රමිතිගත නිස්සාරකයකි. මෙම ගම්මිරිස්වල අමු ස්වරූපයෙන් හමුවන පයිපෙරීන් 3-9% ට සාපේක්ෂව බයෝපෙරීන්වල පයිපෙරීන් ප්‍රමාණය 95% හෝ ඊට වැඩි ය. උණ, ආහාර ජීර්ණ ආබාධ, මුත්‍රා අපහසුතා, රූමැටික් උණ, ස්නසාශූලය සහ ශරීරයේ ඇතිවන ගෙඩිවලට ද ප්‍රතිකාර කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී බයෝපෙරීන් අඩංගු කළු ගම්මිරිස් සාරය පුළුල්ව භාවිතා කර ඇත. බයෝපෙරීන් පෝෂ්‍ය පදාර්ථවල ජෛව උපයෝජ්‍යතාව වැඩි කරයි. පෝෂණ අතිරේක සංයෝග වලින් සමන්විත පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය වැඩි කිරීමට ඇති හැකියාව නිසා, බයෝපෙරීන් ස්වාභාවික තාප පෝෂ්‍ය පදාර්ථ හා ජෛව උපයෝජ්‍යතා වැඩි කරන්න කි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න