බුලත්

බුලත්

Piper betle L.
කුලය : Piperaceae

ඉතිහාසය

බුලත් යනු ශ්‍රී ලංකාව පුරා වැඩෙන සදාහරිත, බහු වාර්ෂික වැල් ශාකයකි. වාණිජ නිපැයුම වන්නේ කොළ වන අතර, ප්‍රධාන වශයෙන් පුවක්, හුණු, දුම්කොළ සහ තවත් අමුද්‍රව්‍ය සමඟ “බුලත් විට” ලෙස  සැපීම සඳහා යොදා ගනී. ශ්‍රී ලංකාවේ බුලත්විට සැපීම ක්‍රි.පූ.340 දක්වා දිවෙන අතර” එම කාලය තුළ රටේ කීර්තිමත් සමාජය විසින් බුලත් සඳහා ඉහල වටිනාකමක් ලබාදෙන ලදී. බුලත් වල මූලාරම්භය මැලේසියාවේ හෝ නැගෙනහිර ආසියානු කලාපයේ යැයි විශ්වාස කෙරෙන අතර චීන හා අරාබි වෙළෙන්දන් විසින් ශ්‍රී ලංකාව සහ අනෙකුත් දකුණු ආසියානු රටවලට හඳුන්වා දුන් බව කියනු ලැබේ. කෙසේ වුවද, බුලත් වල වල් දර්ශ දහයක් පමණ ශ්‍රී ලංකාවෙන් හමු වේ.

වර්තමානයේ බුලත් දේශීය පරිභෝජනය සඳහා මෙන්ම  අපනයනය සඳහාද වගා කරන අතර බුලත් වගා කරන ප්‍රධාන රටවල් වන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය සහ බංගලාදේශයයි. ශ්‍රී ලංකා බුලත් අපනයනය කරනු ලබන  ප්‍රධානම රට පකිස්ථානය වන අතර, මීට අමතරව ඉතාම සුළු ප්‍රමාණයකින් මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ප්‍රංශය, ජපානය හා මැදපෙරදිග රටවලටද අපනයනය කරනු ලබයි.

නිෂ්පාදන සහ ප්‍රයෝජන

මෙම ශාකය ඉහළ ආර්ථික හා ඖෂධීය වටිනාකමක් ඇති නමුත් පුරාණ කාලයේ සිටම එය බුලත් සැපීම සඳහා සහ විවිධ චාරිත්‍රානුකූල උත්සව සඳහා මෙන්ම වෙනත් අවස්ථා සඳහාද භාවිතා කර ඇත. බුලත් විටක අඩංගුවන ද්‍රව්‍ය සංයෝජනය විවිධ අමුද්‍රව්‍ය සමඟ රටින් රටට වෙනස් විය හැකිය.
බුලත් භාවිතයෙන් බුලත් මිශ්‍ර මදුරු විකර්ෂක දඟර සහ ක්‍රීම්, දන්තාලේප, මුඛ සේදීමේ දියර, ෂැම්පූ සහ ක්ෂණික බුලත් විට ආදී අගය එකතු කළ නිෂ්පාදන කිහිපයක් සකස් කර ගත හැකිවේ.

ප්‍රධාන වශයෙන් වගා කරන ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම  බුලත් වගා කළහැකි අතර, පහතරට හා මැදරට ප්‍රදේශ වලදී සාපේක්ෂව වැඩි අස්වැන්නක් ලබාගත හැකිවේ. අපනයනය සඳහා වගා කරනු ලබන බුලත් කළු බුලත් ලෙස හඳුන්වනු ලැබේ. කළු බුලත් වල කොළ සාපේක්ෂව විශාල වන අතර තද කොළ පැහැයෙන් යුක්ත වේ. බුලත් අපනයනයේදී ප්‍රවාහනය ගුවන් මඟින් සිදුවන නිසා දැනට ප්‍රධාන වශයෙන්ම ගුවන්තොටුපළට ආසන්න දිස්ත්‍රික්ක වන කුරුණෑගල, ගම්පහ, කළුතර සහ කොළඹ කළු බුලත් වගා කරන අතර, අවශ්‍ය තත්ත්ව ලබාදීම හා සුදුසු ප්‍රභේධ භාවිතා කිරීම මඟීන් වෙනත් දිස්ත්‍රික්කවල ද අපනයන තත්ත්වයේ බුලත් වගාකිරීමේ  හැකියාව ඇත.

ප්‍රභේද

ශ්‍රී ලංකාවේ හමුවන බුලත් වර්ග ලෙස මානේරු, රටදළු, ගල්දළු, ගැටතෝඩු, සහ මැටිපලා  යන බුලත් වර්ග දැක්විය හැකිය. ඒවා අතරින්  මානේරු සහ රටදළු  වාණිජමය වශයෙන් වගා කෙරේ. මානේරු බුලත් දර්ශ  සහ රටදළු බුලත් දර්ශ වෙන් වෙන් වශයෙන් තේරීමට ලක් කිරීමෙන් ඉහළ ගුනාත්මයක් හා අස්වැන්නක් ලබාදෙන නාරම්මලී සහ නාරම්රතී යනුවෙන් හැඳීන්වෙන නව බුලත් වරණ දෙකක් හඳුන්වා දී ඇත. මෙම වරණ  දෙකෙහි විශේෂිත ලක්ෂණ පහත පරිදි වේ.

01. නාරම්මාලි –

  • පත්‍ර ලක්ෂණ – දිග: 25cm
  • පළල: 19cm
  • බර: 8g
  • වර්ණය: තද කොළ
  • එක් වාරයකදී වැලකින් ලබාගත හැකි බුලත් අස්වැන්න – කොළ 50 – 60
  • එක් වාරයකදී වැලකින් ලබාගත හැකි බුලත් අස්වැන්නෙන් අපනයන කිරීමට සුදුසු බුලත් කොළ ප්‍රතිශතය  –  80 % අපනයනය සදහා සුදුසු බුලත් අස්වැන්න –  වර්ෂයකට ආධාරක 1000 කට කොළ 1,200,000 පමණ වේ.

02. නාරම්රති –

  • පත්‍ර ලක්ෂණ – දිග: 26cm
  • පළල: 17cm
  • බර: 8g
  • වර්ණය: ලා කොළ
  • එක් වාරයකදී වැලකින් ලබාගත හැකි බුලත් අස්වැන්න – කොළ 60 – 65
  • එක් වාරයකදී වැලකින් ලබාගත හැකි බුලත් අස්වැන්නෙන් අපනයන කිරීමට සුදුසු බුලත් කොළ ප්‍රතිශතය  –  75 % අපනයනය සදහා සුදුසු බුලත් අස්වැන්න –  වර්ෂයකට ආධාරක 1000 කට කොළ 1,440,000 පමණ වේ

පස

ශ්‍රී ලංකාවේ තෙත් සහ වියළි දේශගුණික කලාපවල හොඳින් ජලය බැස යන සාරවත් පසෙහි බුලත් වගා කළ හැකිය. විශේෂයෙන් කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇති ලැටරිටික් හා මැටි ලෝම පස් බුලත් වගාව සඳහා ඉතා යෝග්‍ය වේ. ජලය රඳාපවතින, සේලයින් හෝ ක්ෂාරීය පස බුලත් වගාවට සුදුසු නොවේ.

දේශගුණය

බුලත් වැල්වල වර්ධනය සඳහා වසර පුරා හොඳින් ව්‍යාප්ත වූ වාර්ෂික වර්ෂාපතනයක් (මි.මී. 1500-2000 ක් පමණ)  තිබීම අවශ්‍ය වේ. බුලත් හිරු එළිය ප්‍රියකරන ශාකයක් වන නමුත් වියළි කලාපයට වඩා තෙත් කලාපයේ සහ අතරමැදි කලාපවල වඩා ගුණාත්මයෙන් ඉහල තත්ත්වයේ කොළ නිපදවයි. බෝගය වාණිජ මට්ටමින් සාර්ථකව වගා කිරීම සඳහා සුදුසු සෙවන මට්ටම් සහ කෘත්‍රීම ජල සම්පාදන ක්‍රම යෙදීම වඩා සුදුසු වේ.

බෝග ස්ථාපනය

සාමාන්‍යයෙන් බුලත් ප්‍රචාරණය කරනු ලබන්නේ දඬු කැබලි භාවිතා කිරීමෙනි. දඬු කැබලි ලබාගන්නා විට නිරෝගී හා සාපේක්ෂව විශාල හා තද කොළ පැහැයෙන් යුත් කොළ සහිත ඉහළ අස්වැන්නක් දෙන මව් වැල් වලින් ගත යුතුය. දඬු කැබලි කෙලින්ම ක්ෂේත්‍රයේ රෝපණය කළ හැකිය. එසේ නැතහොත් මතුපිට පස්, ගොම පොහොර, කොහුබත් හා වැලි සමාන කොටස් මිශ්‍රණයකින් පුරවා ඇති පොලිතීන් මලුවල සිටුවා මූල පද්ධතිය හොඳින් වැඩුණු දඬු කැබලි වලින් රෝපණ ද්‍රව්‍ය සකස්කර සිටුවීම සඳහා භාවිතා කල හැක.

බුලත් සාමාන්‍යයෙන් ගිලුණු පාත්ති වල සිටුවනු ලැබේ. ක්ෂේත්‍රය තැනිතලා විය යුතු අතර, හොඳින් ජලය බැස පරිදි සකස් කල හොඳින් හිරු එළියට නිරාවරණය වී තිබිය යුතුය. භාවිතා කරන ක්ෂේත්‍රය අවම වශයෙන් අවුරුදු 2 ක් වත් බැක්ටීරියා කොළ අංගමාරය ආසාධනයෙන් තොර වූ ක්ෂේත්‍රයක් විය යුතුය.

ඉඩම් සැකසීමෙන් පසු, සාමාන්‍යයෙන් මීටර් 1.2×7.5 ප්‍රමාණයේ පාත්ති සකස් කරනු ලැබේ. කළමනාකරණ පිළිවෙත් සහ රෝග පැතිරීම පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් පරතරයක් පාත්ති අතර තැබිය යුතුය. පාත්ති හොඳින් ජලයෙන් තෙත්කර පිළිවෙලින් පිදුරු, දහයියා හා පිදුරු ලෙස සෙන්ටිමීටර 15 ක පමණ තට්ටුවක දමා පුලුස්සා ජීවානුහරණය කළ යුතුය. පාත්ති සමූහය වටා සෙන්ටිමීටර 30 ක් පළල, සෙන්ටිමීටර 60 ක ගැඹුරකින් ජලය හොඳින් බැසයාමේ කානු සෑදිය යුතුය. බුලත් වැල් වලට ඉහලට වර්ධනය වීම සඳහා කෘත්‍රීම, සජීවී හෝ අජීවී ආධාරක සැපයිය යුතුය. සෙන්ටිමීටර 45×45 පරතරයෙන් පාත්ති තුළ ආධාරක සිටුවිය යුතුය. අධාරකයක් අසල දඬු කැබලි දෙකක් බැගින් සිටුවනු ලැබේ. පාත්ති වෙනුවට බුලත් තනි කොවුල් ක්‍රමයටද  ස්ථාපිත කළ හැකිය. මතුපිට පස් හා ගොම පොහොර මිශ්‍රණයෙන් පුරවන ලද සෙන්ටිමීටර 60×60×60 වලවල් වල දඬු කැබලි රෝපණය කළ හැකි අතර සෙන්ටිමීටර 2-4 විෂ්කම්භයක් සහිත ආධාරක සිටුවීම කළ යුතුය. ශාක අතර පරතරය මීටර් 1.8×1.8 වේ. සජීවී ආධාරක ලෙස Gliricidia sepium හෝ අජීවී එහෙත් කල් පවතින දැව ආධාරක භාවිතා කළ හැකිය. බුලත් දඬු සිටුවීමෙන් පසු පාත්ති සති 4-6 ක් පමණ පොල් අතු හෝ වෙනත් සෙවන ද්‍රව්‍ය වලින් ආවරණය කළ යුතුය. දිනකට වරක් හෝ දෙවරක් පාත්තිවලට ජලය දැමිය යුතුය. දින 20-45 ක් ඇතුළත සිටවූ දඬු කැබලිවලින් රිකිලි දැමීම ආරම්භ වන අතර ඉන් පසු ක්‍රමයෙන් සෙවන  ඉවත් කළ යුතුය.

පාත්ති සති 4-6 ක් පමණ පොල් අතු හෝ වෙනත් සෙවන ද්‍රව්‍ය වලින් ආවරණය කළ යුතුය. දිනකට වරක් හෝ දෙවරක් පාත්තිවලට ජලය දැමිය යුතුය. දින 20-45 ක් ඇතුළත සිටවූ දඬු කැබලිවලින් රිකිලි දැමීම ආරම්භ වන අතර ඉන් පසු ක්‍රමයෙන් සෙවන  ඉවත් කළ යුතුය.

බෝග කළමනාකරණය

පොහොර යෙදීම

සෑම සති 2 – 3 කට වරක් බුලත් කොළ නෙලා ගනු ලබන අතර එමඟින් සැලකිය යුතු ප්‍රමාණයේ පෝෂ්‍ය පදාර්ථ ක්ෂේත්‍රෙයන් ඉවත් වී යයි. එබැවින් ඉහළ අස්වැන්නක් සහ වඩා හොඳ වර්ධනයක් සඳහා රසායනික පොහොර යෙදීම අත්‍යවශ්‍ය වේ.

පොහොර නිර්දේශය

යූරියා 195g
ත්‍රිත්ව සුපර් පොස්පේට් 65g
ම්‍යුරියේට් ඔෆ් පොටෑෂ් 100g
කීසරයිට් 60g
ඉහත මිශ්‍රණයෙන් ග්‍රෑම් 420 ක ප්‍රමාණයක් සති තුනකට වරක් බුලත් වැල් 100 කට යෙදිය යුතුය.

කාබනික පොහොර

මුලදී ගොම පොහොර හෝ කොම්පෝස්ට් මාසයකට පමණ පසු පාත්තියට යෙදිය යුතු අතර එය පස සමඟ හොඳින් මිශ්‍ර කළ යුතුය. මෙහිදී අලුතින් වගා කළ දඬු කැබලි වලට හානි නොවීමට වගබලා ගත යුතුය. හොඳින් දිරාපත් වූ කුකුල්  පොහොර හෝ එළු  පොහොර ද බුලත් වගාව සඳහා භාවිතා කළ හැකිය. දිරාපත් වූ ග්ලිසීඩියා කොළ යෙදීම වඩා හොඳ වර්ධනයක් සහ ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා වඩාත් ප්‍රයෝජනවත් වේ.

කප්පාදු කිරීම හා පුහුණුව

පහත සඳහන් විවිධ අවස්ථාවලදී බුලත් වැල් කප්පාදු කිරීම සිදු කල යුතුය.

  1. බුලත් ක්ෂේත්‍රයෙහි සිටුවා  අඩි  03 ක් පමණ උස්වූ පසුවත් හරස් අතු (පළුකන් ) හට නොගන්නේ නම් බිම් මට්ටමේ සිට පුරුක් 03 ක්  ඉතිරි කර බුලත් වැල්  කප්පාදු කළ යුතුය.
  2. බුලත් වැල පන්දලම උඩ වර්ධනය වී තරමක් කල් ගත වූ පසු වැඩෙන කොළ කුඩා වීමට පටන් ගනී .මෙය “ රෑන් ඇදෙනවා ” යනුවෙන් ව්‍යාවහාරයේ පවතියි. කෙසේ හෝ මෙම අවස්ථාවේදී  පන්දලම මත පළුකන් දෙකක් ඉතිරිවන පරිදි දික් වූ බුලත් වැල  කපා දැමිය යුතුය.
  3. හරස් අතුවල සෑදෙන පීදුණු කොළ කුඩා වීම ආරම්භ වූ විට හා හරස් අතු දිග ප්‍රමාණයෙන් වැඩි වූ විට පුරුක් දෙකක් ඉතිරි කර හරස් අත්ත කප්පාදු  කළ යුතුය.
  4. බුලත් වැල් ඉතා වයසට පත් වූ විට පස් මට්ටමේ සිට ඉහලින් පුරුක් තුනක් තබා සියලුම වැල්  කපා දැමිය යුතුය.

කප්පාදු කිරීමෙන් පසු නිර්දේශිත ප්‍රමාණයටම  ගොම පොහොර හා රසායනික පොහොර යොදා ජලය සපයා පාත්ති නඩත්තු කිරීමෙන් අලුත්ම බුලත් පාත්තියක් බවට එම පරණ බුලත් පාත්තිය  හරවා ගත හැක . මෙහිදී අලුතින් ඉනි සිටුවීම අවශ්‍ය වේ.

බෝග ආරක්ෂණ

රෝග

1. බැක්ටීරියා කොළපුල්ලි රෝගය

බැක්ටීරියා කොළපුල්ලි රෝගය “තෙල් කුණාව” ‚ “තෙල් පැල්ලම” ‚ “මහ ලෙඩේ” ‚ “නරක රෝගය” යන නම් වලින් හැදින්වේ. ව්‍යධිජනකයා සැන්තොමොනාස් කැම්පෙස්ට්‍රිස් බෙට්ලිකෝලා නම් වේ.  (Xanthomonas campestris betlicola) බීජෞෂණ  කාලය දින දෙකකි. මුලික ව තෙල් පැල්ලම් වැනි පාරභාෂක ලප බුලත් කොළයේ මතුපිටින් පෙනෙන අතර, අවර්ණ හෝ ළා කහ පැහැති බැක්ටීරියා ශ්‍රාවය බුලත් කොළයේ යටි පැත්තෙන් දක්නට ලැබේ.

මෙම රෝගී තත්ත්වයේදී කොළයේ යටි පැත්තෙහි  තෙත් ස්වභාවයක් ගන්නා ලප නිරීක්ෂණය කල හැක. දෙවනුව කළු පැහැති පැල්ලම් ඇතිවන අතර, එම කළු පැහැති පැල්ලම් වටා පළල් කහ පැහැති රැස් වළල්ල ඇතිවීම කොළයේ මතුපිටින් වඩාත් පැහැදිලිව පෙනේ. පසුව, කඳ කොටස් වලටද රෝගය පැතිරෙන අතර අවසානයේ කොළ හැලී පළුකන් හා පුරුක් ගැළවී වැල මිය යයි. රෝගය ආසාධනයෙන් පසු එය මර්දනය කිරීමට වඩා රෝගය ඇතිවීමට හේතුවන වන අනෙකුත් සාධක කළමනාකරණය කිරීම මෙම රෝගය ඇතිවීම වැලැක්වීමට ඇති සුදුසු ම ක්‍රියාව වේ.

  • සුළං බාධක ලෙස පොල් අතු ආවරණ යෙදීම.
  • වගාවට ම වෙන් වූ ජල ප්‍රභවයක් පවත්වා ගැනීම.
  • වගා බිම වටා හොඳින් ජලය බැස යන සේ කාණු කැපීම.
  • භාවිත කරන උපකරණ වෙන්ව තබා ගැනීම.
  • බුලත් වගාවේ යෙදෙන ශ්‍රමිකයන් වගා භූමියට යාමට පෙර පිරිසිදු වීම.
  • කෘමි වාහකයින් (කලාමැදිරියන් හා වෙනත් කෘමි සතුන්) පාලනයට කෘමි විකර්ෂක/ කෘමිනාශක උගුල් භාවිතය.
  • නීරෝගී වගාවකින් සුදුසු කාලයේ දී රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීම (වර්ෂා සමයේ අග භාගයේ දී).
  • නියමිත පොහොර මිශ්‍රණය නිර්දේෂිත ප්‍රමාණයෙන් ම යෙදීම.
  • හිරු එළිය හොදින් ලැබෙන සේ පාත්ති සැකසීම.
  • පාත්ති අතර පරතරය වැඩි කිරීම.
  • ගම්මිරිස් වැනි ධාරක ශාක වගාවන්ගෙන් දුරස්ථව වගා කිරීම.

පලිබෝධනාශක භාවිතයෙන් කිසිවකට මෙම රෝගය සම්පුර්ණයෙන් පාලනය කිරීමට නොහැකි අතර පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් රෝගය යම්තාක් දුරට පාලනය කළ හැකි බව පෙනී ගොස් ඇත. රෝගය මුල්වරට දුටු වහාම රෝගී වැල හා අවට වැල් ගලවා පුළුස්සා පොහොර හා ජලය දැමීම නවත්වන්න. මෝරන ලද කොළ සියල්ල හා අනවශ්‍ය ලෙස වැඩුණු වැල් සියල්ල ඉවත් කරන්න. මෙම ක්‍රියාව කළ යුත්තේ නීරෝගී වැල් වල සිට අවසානයට රෝගී වැල් දිශාවට එන ලෙසය. පසුව පලිබෝධනාශක රෙජිස්ටාර් විසින් කාලීනව අනුමතකර ඇති තඹ අඩංගු දිලීර නාශකයක් බුලත් කොළවල යටි පැත්තට වදින ලෙස ආරක්ෂිතව යොදන්න. දින 03 කින් පමණ නැවත පරීක්ෂාකර බලා රෝගය මතුවී ඇත්නම් ඉහත පරිදි දිලීරනාශක ඉසින්න. (නැවත අලෙවිය සදහා බුලත්  අස්වනු නෙලිය යුත්තේ මාස එකහමාරකින් පමණ පසුවය) නැවතත් වරින් වර රෝගය මතුවන්නේ නම් බුලත් වැල් සියල්ලම විනාශ කරන්න.  රෝගී වැල් ඇල්ලීමෙන් පසු හොඳින් පිරිසිදු වන්න.

2. පාමුල කුණුවීමේ රෝගය

ව්‍යාධිජනකයින්: කොලෙටෝට්‍රිකම්, ෆයිටොප්තොරා, රයිසොක්ටෝනියා දිලීර වර්ග .

  • බුලත් වැල, පසට සම්බන්ධ වන පාමුල කොටස කුණුවෙයි.
  • මෙම කුණුවීම මුල් කරා ද පැතිරෙයි.
  • පත්‍ර ක්‍රමයෙන් කහ පාටට හැරී මැළ වී යයි.
  • රෝගය වැළඳී  සති 2-3 කින් පමණ වැල සම්පූර්ණයෙන් ම විනාශ වෙයි.

මුල් අවස්ථාවේ දී හඳුනාගත හැකි නම් දිලීර නාශකයක් යොදා පාලනය කළ හැකි ය. දිලීරනාශක යෙදීමට පෙර, පාත්තියට ප්‍රමාණවත් ලෙස ජලය යොදන්න. දිලීරනාශක වැල මුලට යොදන්න. රෝගය තීව්‍රතාව වැඩි නම් ආසාධිත වැල් ගලවා විනාශ කරන්න. දිලීරනාශක යෙදීමේ  දී දිලීරනාශකයෙන් ග්‍රෑම් 30 ක් ජලය ලීටර් 16 ක දියකර ගත් මිශ්‍රණයෙන් එක් වැලකට මිලි ලීටර් 500 ක් වන පරිදි වැල පාමුලට යොදන්න. මතුපිට පස් හා ගොම 1: 1 අනුපාතයක් සහිත මිශ්‍රණයක් බුලත් වැලෙහි පාමුලට යෙදිය යුතුය. එය පාදස්ථ ගැටවලින් නව මුල්වල වර්ධනය වැඩි කරයි.

3. පත්‍ර පුල්ලි ඇතිවීම
ව්‍යාධිජනයින් : කොලෙටෝට්‍රිකම්, ෆයිටොප්තොරා, සර්කොස්ෆොරා යන දිලීර මෙහි දී පත්‍ර මත වියළි දුඹුරු/කළු පැහැති පැල්ලම් දක්නට ලැබෙන අතර කළු පැහැති පැල්ලම් වටා කහ පැහැති දාරය ඇතිවේ. රෝගය පාලනය කිරීම සදහා මූලික ව රෝගී පත්‍ර කඩා පුළුස්සා දැමීම කළ හැකිය. ඒ සමඟ ම සෙවන ඉවත් කර හිරු එළිය වැටීමට සැලැස්වීම  හා පන්දලමට ජලය ගැසීමෙන් වැළකීම ඉතාවැදගත් ‍ වේ. රෝගය උග්‍ර අවස්ථාවක නම් ආරක්ෂිත තත්ත්ව යටතේ, දිලීරනාශකයක් යොදන්න.

4. නෙමටෝඩාවන්ගේ හානි
සමහර බුලත් වගාවන්වල දී කලාතුරකින් වැල් මියයාම දැකිය හැක. එයට ප්‍රධාන හේතුව නෙමටෝඩා පනුවන් ගෙන් සිදුවන හානියයි. නෙමටෝඩාවන් මූල පද්ධතියට යම් ප්‍රමාණයකට හානි කරන අතර, ඒ මත බැක්ටීරියා සහ දිලීර මගින් ද්විතියික ආසාධන ඇති කරමින් පාදස්ථ කුණුවීම නම් තත්වය ඇති කර මූල මණ්ඩලය විනාශයට පත් කරයි. 

නෙමටෝඩාවන්

ආසාධිත මුල්

පලිබෝධ

ආර්ථික වැදගත්කමක් උසුලන පලිබෝධ හානි වාර්තා වී නොමැති වුවත් යුෂ උරාබොන කෘමීන්ගෙන් පත්‍රවලට වන හානි සහ රතු මයිටයන්ගෙන් පත්‍රවලට සිදුවන හානි බුලත් වගාවන්වල නිතර දැකිය හැක.

1. කණාමැදිරි හානිය

මෙම කෘමියා සත්‍ය වශයෙන්ම කලාමැදිරියකු නොවන අතර හෙමිප්ටෙරා (Hemiptera) ගෝත්‍රයට අයත් Dispinctus politus නම් රතු පැහැයට හුරු කෘමියෙකි.

  • ළපටි පත්‍රවල යුෂ උරාබොයි. හානි සිදු කළ ළපටි පත්‍රවල තෙල් පැල්ලම් වැනි ලප ක්‍රමයෙන් දුඹුරු වී පසුව කළු/අළු පැහැයක් ගනී.
  • ණාමැදිරි හානිය පාලනය කිරීම සඳහා කෘමිනාශක යෙදූ පොට්ටනි පන්දලමේ තැනින් තැන එල්ලීම, කෘමි විකර්ෂක පැලෑටි සිටුවීම (දහස්පෙතියා හා කැප්පෙටියා) කණාමැදිරියාට හිතකර ශාක (කොච්චි හා මිරිස් ශාක) ඉවත් කිරීම. හානිය දරුණුවට පැතිර යන්නේ නම් අස්වනු නෙලීමකට පසුව ආරක්ෂිත තත්ත්ව යටතේ කෘමිනාශකයක් යොදන්න.
Dispinctus politus කෘමියා
හානි ලක් වූ පත්‍ර

2. රතු මයිටාවා – “පොල්කටු රෝගය”

  • මයිටාවන්, පත්‍රවල යටි පැත්තේ  යුෂ උරාබීම සිදුකරන අතර, එම නිසා පත්‍රවල දාර හැකිළුණු හෝ සුරුණ්ඩු වූ ස්වභාවයක් ගනී.
  • එම කොළවල යටි පෘෂ්ඨයේ රෝස පැහැයට හුරු දුඹුරු පැහැයක් ගන්නා අතර, කොළයේ උඩින් මලකඩ වැනි පැහැයක් ගනී.
  • මූලික අවස්ථාවේ බුලත් වැලේ කොළ කිහිපයක හානිය දක්නට ලැබේ. එහිදී එම කොළ කඩා, පාත්තියෙන් ඉවතට ගෙන පුළුස්සා දැමීමෙන් පළිබෝධ ව්‍යාප්තිය වළක්වා ගත හැක.
  • හානිය දරුණුවට පැතිර යන්නේ නම් අස්වනු නෙළීමකට පසුව ජලයේ ද්‍රාව්‍ය 80% සල්ෆර් කුඩු ග්‍රෑම් 30 ක් වතුර ලීටර් 16 ක දියකර පත්‍රවල යටි පැත්තේ හොඳින් තැවරෙන පරිදි ඉසිය යුතුය.
  • අනතුරුව මෝරණ කොළ,  මාසයක් පමණ යන තුරු පාරිභෝජනය සදහා සුදුසු නොවේ.

අස්වනු හා පසු අස්වනු පිළිවෙත්

අස්වනු නෙලීම‍

බුලත් වගාවේ අස්වනු නෙලීම බුලත් වැල මීටර් 1.2 ක ප්‍රමාණයකට වර්ධනය වූ විට ආරම්භකල යුතු අතර අස්වනු නෙලීම ක්‍රමානුකූලව කල යුතුය. බුලත් වැල මීටර් 1.2 ක් පමණ වැඩුණුවිට දී වැලේ පහතින්ම ඇති කඳ කොළ (වැලි කොළ) ඉවත් කරන්න. වැල මීටර් 1.5  ක් පමණ වැඩුණ විට දී ප්‍රධාන කඳේ  මීටර් 0.3 ක පමණ ප්‍රමාණයක කඳ කොළ ඉවත් කරන්න.වැල මීටර් 1.8 ක් පමණ වැඩුණු පසු එනම්, වැල පන්දලමට යාන් වූ විට ප්‍රධාන කදේ මේරූ කොළ ද ඉවත් කරන්න. එතැන් පටන් ක්‍රමයෙන් දේශීය වෙළඳපොලට  සති  දෙකකට වතාවක් ද අපනයන වෙළඳපොලට සති තුනකට වතාවක් ද මේරූ කොළ ඉවත් කරමින් අස්වනු නෙලා ගැනීමට පුළුවන. දෙවන වසරේ දී ඉනි 100ක බුලත් කොටුවකින් එක් අස්වනු වාරයක දී බුලත් කොල 6000 – 8000ක පමණ ප්‍රමාණයක් නෙලා ගැනීමට හැකියාව ඇති අතර, පළපුරුදු කම්කරුවෙකුට දිනකට කොළ 5000-6000ක පමණ ප්‍රමාණයක් නෙලා ගැනීමට හැකියාව ඇත.

වෙළඳපොලට යැවීම සඳහා බුලත් කොළ සැකසීම

දේශීයව පරිභෝජනයට මෙන්ම අපනයනය කිරීම සඳහා බුලත් වෙළඳපොලට සැපයේ. නටුවෙන් අඩක් ද සහිතව බුලත් වැලෙන් නෙලා ගන්නා ලද බුලත්, වර්ග කොට, පළුදු වූ කොළ ඉවත් කර, ඒ ඒ වර්ගවල බුලත් කොල 20 බැගින් වූ බුලත් ගොනු වශයෙන් සකසා ගනී. මෙසේ සකසා ගත් බුලත් කොළයේ නටුවේ දිග සෙ.මී 2.5 – 3.0 පමණ වන සේ කපා දමා එම ගොනු ජලයෙන් තෙමා බුලත් තට්ටුවල අසුරා වෙළඳපොලට ප්‍රවාහනය කරනු ලැබේ. දේශීයව පරිභෝජනය වන බුලත් කඳ කොළ, පීදුනු කොළ, කෙටි කොළ වශයෙන් වර්ග කර වෙළඳපොලට සැපයේ. එසේ වර්ග කල බුලත් කොළ කෙසෙල් පරඬැල් යටට අතුරන ලද රවුම් තට්ටුව මත අසුරා නැවතත් එම තට්ටු උඩින් කෙසෙල් පරඬැල් අතුරා හොඳින් වසා තවත් රවුම් තට්ටුවක් යොදා ගනිමින් වසා, බුලත් කොළ පිටතට නොඑන සේ ලණු බැමි යොදා,හොඳින් තද කොට බැඳගනු ලැබේ. මෙසේ සකස් කර ගන්නා ලද බුලත් තට්ටු එහි ඇතුලත අධික උෂ්ණත්වය ඇති වීම වලකනු පිණිස නැවතත් එම බුලත් තට්ටු ජලයෙන් තෙමා වෙළඳපොලවල් වෙත ප්‍රවාහණය කිරීමත් අතර කාලය හැකි තාක් අඩු කර ගැනීමට කටයුතු කිරීමට උචිතය.

වෙළඳපොලට බුලත් සකස් කිරීම

අපනයන සඳහා අපනයන සැකසුම් මධ්‍යස්ථාන වෙත එදිනම ප්‍රවාහනය කරන ලද බුලත් අවශ්‍ය පිරිවිතරයකට අනුව තෝරා සැකසීම නැවත සිදු කරනු ලැබේ.

අපනයන තත්ත්වයේ බුලත්වල තිබිය යුතු ගුණාංග

  • හොඳින් මේරූ තද කොළ පැහැයෙන් යුතු බුලත් කොළ විය යුතුය.
  • කඩතොලු වලින් තොර විය යුතුය.
  • සැපීමේ දී සැර ගතියකින් යුක්ත විය යුතුය.
  • බුලත් කොළ විශාල විය යුතුය.කොළයේ දිග සෙ.මී 20න් සහ පළල සෙ.මී 15ක් පමණ වීම වඩා යෝග්‍ය ය.
  • වියලීමෙන් තොර අලුත් බුලත් කොළ විය යුතුය.
  • බුලත් කොළයේ නටුව කලු පැහැයෙන් තොර විය යුතු අතර, එය සෙ.මී. 2.5 – 3.0 පමණ දිගට කපා තිබිය යුතුය.

ඉහත පිරිවිතරයනට අනුකූල වන සේ බුලත් කොළ තෝරා ඒවා සර්පිලාකාරව කුඩයකට අසුරනු ලැබේ. මෙම කූඩය බුලත් කොළ කි.ග්‍රෑ 09ක ප්‍රමාණයක අසුරා එම කූඩයේ පියනෙන් වසා, අඩංගු බුලත් කොළ  වර්ගය පිළිබඳව නියමිත සලකුණු යොදා කූඩය වටා අරීයව ලණු බැමි කිහිපයක් යොදා හොඳින් තද කරනු ලැබේ. එක් කූඩයකට බුලත්වල බර අනුව කොළ 800 – 2500 දක්වා ප්‍රමාණයක් අඩංගු වේ. මෙසේ සකසා ගන්නා ලද බුලත් හැකි ඉක්මනින් ගුවන් තොටුපල වෙත ප්‍රවාහනය කල යුතු වේ.

ඖෂධීය හා රසායනික ගුණාංග

බුලත් කොළ වල වැදගත් සංඝටකය වන්නේ වාෂ්පශීලී තෙල්ය. ශ්‍රී ලංකාවේ බුලත් තෙල්වල හඳුනාගෙන ඇති ප්‍රධාන සංයෝග සමහරක් වන්නේ ß – ෆෙලන්ඩ්‍රීන්, සැෆ්රෝල්,  4 – ටර්පිනෝල්, ඉයුජිනෝල්, චාවිබිටෝල් ඇසිටේට් සහ ඇලිල්පිරොකැටෙකෝල් ඩයසිටේට් ය. බුලත් වල අඩංගු මෙම සංයෝග නිසා  බුලත් කොළවල ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති වේ. පිළිකා වැළැක්වීම, දියවැඩියාව වැළැක්වීම, හෘද වස්තුව ආරක්ෂා කිරීම, අක්මාව සහ ආහාර මාර්ග පද්ධතිය ආරක්ෂා කිරීම, මුත්‍රා ආබාධ සුව කිරීම, විෂබීජ නාශකගුණය, ප්‍රතිප්‍රදාහ ගුණය සහ කැස්ස සමනය කිරීම වැනි ඖෂධීය ගුණාංග රාශියක්  බුලත් කොළවල අඩංගු වේ. මෙම ගුණාංගයන් භාවිතයෙන් විවිධ අගය එකතුකළ නිෂ්පාදන සැදීමේ හැකියාව ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අතුරු වගා සහ බුලත් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ලබාගත හැකිවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න