වැනිලා

වැනිලා

Vanilla fragrans
කුලය: Orchidaceae​

ඉතිහාසය

ස්වාභාවික වැනිලින් ලබාගැනීමේ ප්‍රභවය වන බැවින් වැනිලා ආර්ථික වශයෙන් වැදගත් බෝගයකි. වැනිලා ඊසානදිග මෙක්සිකෝවට ආවේණික ශාකයක් ලෙස විශ්වාස කෙරේ. වැනිලාවල රහස මුලින්ම දැනගත් ජන කොටිඨාශය වූයේ මෙක්සිකෝවේ ඉපැරණි ටොටොනාකෝ ඉන්දියානුවන් ය. ඇස්ටෙක්වරුන් විසින් ඔවුන් පරාජයට පත් කළ විට, ඔවුන් සතු වූ අමුතු ආකාරයේ පලතුර වන වැනිලා කරල් අත්හරින ලෙස අණ කර සිටියේය. පසුව ස්පාඤ්ඤ ජාතිකයින් විසින් ඇස්ටෙක්වරු පරාජයට පත් කරන ලද අතර, ස්පාඤ්ඤ ජාතික නිවකයෙකු වූ ස්පැනියාර්ඩ් හර්නාන්ඩෝ කෝර්ටෙස් විසින් කොල්ල අසාමාන්‍ය හා ප්‍රසන්න පානයක් සාදන ලදී. අවුරුදු අසූවක් තිස්සේ මෙම විශේෂ පානය භුක්ති වින්දේ රදළයන් සහ ධනවතුන් පමණි. 1602 දී පළමුවන එලිසබෙත් රැජිනගේ ඖෂධ සකස් කරන්නා වන හියු මෝගන්, වැනිලා රසකාරකයක් ලෙස භාවිතා කළ හැකි බව පවසන ලද අතර, මෙම විදේශීය භෝගයේ වැදගත් බව අවසානයේදී අනාවරණය කර ගන්නා ලදී. කෙසේ වෙතත්, වැනිලා කරල් වලින් වැනිලින් වෙන්කර ගැනීමට ගොබ්ලිට හැකි වූයේ 1858 දී පමණි. අද වැනිලා යනු මැඩගස්කරය, ඉන්දුනීසියාව, මෙක්සිකෝව, ටහීටි සහ තවත් රටවල් කිහිපයක වගා කරන වාණිජ බෝගයකි.

නිෂ්පාදන සහ ප්‍රයෝජන

වැනිලා වලින් නිස්සාරණය කරන ප්‍රධාන නිෂ්පාදනය වන්නේ වැනිලින් ය. එය රසකැවිලි කර්මාන්තය, සුවඳ විලවුන් හා ඖෂධ කර්මාන්තයේ දී රසකාරකයක් ලෙස භාවිතා කරයි.

ප්‍රධාන වශයෙන් වගා කරන ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ වැනිලා වගාව ප්‍රධාන වශයෙන් මැද හා පහතරට තෙත් කලාපයේ ගෙවතු වගාවකට සීමා වී ඇත. වගා කර ඇති මුළු බිම් ප්‍රමාණය හෙක්. 100 ට වඩා අඩුය. මහනුවර, නුවරඑලිය, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්ක යන්හි ප්‍රධාන වශයෙන් වගා කෙරේ.

ප්‍රභේද

ශ්‍රී ලංකාවේ විශේෂ ප්‍රභේද හඳුනාගෙන නොමැති අතර සාම්ප්‍රදායිකව වගා කරන ලද වැල් වලින් රෝපණ ද්‍රව්‍ය ලබා ගනී.

පාංශු සහ දේශගුණික අවශ්‍යතා

පස

ඉතා සාරවත් හොඳින් ජලය බැස යන ලෝම පස වඩාත් යෝග්‍ය වේ. පස කාබනික ද්‍රව්‍ය වලින් පොහොසත් විය යුතුය.

දේශගුණය

උන්නතාංශය – වැනිලා මුහුදු මට්ටමේ සිට මීටර 1000 ට වඩා උස හොඳින් වගා කළ හැකිය. සෙල්සියස් අංශක 21-32 අතර උෂ්ණත්වය ඉතා සුදුසු ය. නමුත් සෙල්සියස් අංශක 27 ක උෂ්ණත්වයේදී වැනිලා හොඳින් වැවේ.
වර්ෂාපතනය – මි.මී. 2000-2500 වර්ෂාපතනය සුදුසු ය. නමුත් මල් හට ගැනීම ආරම්භය සඳහා මාස 2-3 ක වියළි කාලයක් අවශ්‍ය වේ.

බෝගය ස්ථාපනය කිරීම

රෝපණ ද්‍රව්‍ය

වර්ධක ප්‍රචාරණය භාවිතා කරනු ලැබේ. 3′-4.5′ (මීටර 1-1.5) ප්‍රමාණයේ දඩු කැබලි තෝරාගත් මව් වැල් වලින් ලබා ගනී. දඩු කැබලි වල පහළ කෙළවර පුරුකට ආසන්නයෙන් තිබිය යුතු අතර පහළ කෙළවරින් පත්‍ර 3-4 ඉවත් කළ යුතුය. අංකුර වැඩීම සඳහා දඩු කැබලි සඳහා දින 7 ක් පමණ ආධාරකයක් මත එල්ලා තැබිය යුතුය.
පුරුක් 3 – 4 සහිත කැබලි 8 ”X 5” පොලිතින් මලුවල සිටුවිය හැකි අතර රිකිලි දැමූ පසු ඒවා රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කළ හැකිය.

ක්ෂේත්‍රයේ රෝපණය

වැනිලා සෙවන ප්‍රිය කරන ශාකයකි. එබැවින් ප්‍රමාණවත් සෙවන (50-60%) ලබා දීම සඳහා සජීවී ආධාරක ගස් භාවිතා කරයි. ග්ලිරිසීඩියා යනු වඩාත් සුදුසු සෙවන ගස සහ ආධාරක ගස වන අතර වැනිලා රෝපණය කිරීමට අවම වශයෙන් මාස හයකට පෙර ක්ෂේත්‍රයේ සිටුවනු ලබේ.

පරතරය – මීටර් 2.5 x 1.5 (අඩි 8 x 5) පරතරයට හෙක්ටයාරයට දඩු කැබලි 2000 සිටුවිය හැකිය. වර්ෂාව ආරම්භයත් සමඟ සිටුවීම කළ යුතුය. ආධාරකයේ මුල සිට විෂ්කම්භය අඩි 2 ක් සහ අඟල් 8 ක් පමණ ගැඹුරට පස බුරුලු කර ගත යුතුය. ඉන්පසු කාබනික පොහොර කූඩා 2-3 ප්‍රමාණයක් එක් කළ යුතුය. ආධාරක ගස වටා පැළ සිටුවීමට සකස් කරගත් භූමියෙහි මතුපිට හරහා අඟල් 4 ක් ගැඹුරට කාණුවක් ආකාරයට සාදා ගත යුතුය. වැනිලා දඬු කැබැල්ලේ පහල කෙළවරේ සිට සෙ.මී. 3 ක් පමණ පසෙන් ඉහලට සිටින සේ එම කැබලි තිරස් අතට කාණුව තුල තබා පස්වලින් වසා ගනු ලැබේ. සිටුවා ගත් දඬු කැබලිවල ඉහල කෙළවර ආධාරකයට තබා ගැට ගසා ගත යුතු අතර, සෙන්ටිමීටර 7.5 – 15 පමණ ඝනකමට දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් වසුන් කළ යුතුය.

බෝග කළමනාකරණය

වැල් පුහුණුකිරීම

සිටුවා ගත් වැනිලා වැල් කැබලි වර්ධනය වත්ම අළුතින් මතුවන අක්ෂීය අංකුර උඩු අතට වැඩීමට පුහුණු කළ යුතුය. වැල් ආධාරක ගස මුදුනට ළඟා වූ විට ඒවා නැවත පහලට වැටීමට ඉඩ දිය යුතුය. ඒවා නැවත පොළොව මට්ටමට වර්ධනය වූ පසු බිම දිගේ සෙන්ටිමීටර 30-45 (අඩි 1-1.5) බිම දිගේ වර්ධනය වීමට සලස්වා නැවත  දල්ල ඉහළට කරකවා ආධාරක ගස මතට වැඩීමට ඉඩ සැලැස්විය යුතුය. එක් වැලිකින් වැල් කිහිපයක් සාදන තුරු මෙම ක්‍රියාවලිය නැවත සිදු කළ යුතුය. වැල්වල පොළොව මට්ටමේ ඇති වැල් කොටස් කාබනික පොහොරවලින් ආවරණය කළ යුතුය.

මල් පිපීම උත්තේජනය කිරීම

උපරිම ප්‍රමාණයෙන් මල් ලබා ගැනීම සඳහා මල් හට ගැනීම කෘත්‍රීමව පෙළඹවීමක් කළ යුතුය. සාමාන්‍යයෙන්, මෙය ජනවාරි මාසයේදී සිදු කෙරේ. පහතට එල්ලා වැටී වැඩී ඇති හොඳින් මේරූ වැල්වල කෙළවර සිට පුරුක් 5-7පමණ ඉවත් කර ගත යුතුය. 70-80% හිරු එළිය ලබීම සඳහා සෙවන සහිත ගස් ද කප්පාදු කළ යුතුය.

පොහොර යෙදීම

සාමාන්‍යයෙන් වැනිලා සඳහා භාවිතා නොකළද කාබනික පොහොර අත්‍යවශ්‍ය වේ. සෑම වැසි කාලයක් ආරම්භයේදීම කොම්පෝස්ට් පොහොර යෙදිය යුතුය. වියළි හෝ අමු කොළ භාවිතාකර අවම වශයෙන් මාස හයකට වරක් කොළ රොඩු වලින් වසුන් කළ යුතු අතර, සෙවන ශාක ද කප්පාදු කළ යුතුය.

පරාගණය

ස්වාභාවික පරාගණය මගින් කරල් වටගන්නේ ඉතාම කලාතුරකින් බැවින් වැනිලා කෘතිම පරාගනය අත්‍යවශ්‍ය වේ. පුෂ්පය ස්වපරාගනය විය හැකි නමුත් පරාගධානියේ සිට කලංකයට පරාග ගමන් කිරීමට හෝ පෙත්ත හෝ තුණ්ඩිකය ඉස්සීම මලින් පරාගධානි කලංකයෙහි ස්පර්ෂ වීම බාහිර ආධාරයකින් තොරව සිදු නොවේ. සාමාන්‍යයෙන් අප්‍රේල්-මැයි කාලවලදී මල් හට ගැනීම සිදුවන අතර, මල් කුඩා ලිලී වැනි, කොළ පැහැති-කහ පැහැයෙන් යුක්ත වේ. පොකුරක මල් 20 ක් පමණ ඇත. සාමාන්‍යයෙන්, එක් ඒකාක්ෂකයක දිනකට මල් 2 ක් හෝ 3 ක් විවෘත වන අතර, සාමාන්‍යයෙන් සම්පූර්ණ මල් හට ගැනීමේ කාලය දින 24ක් පමණ වේ. මල උදෑසන විවෘත වන අතර සවස් කාලයේ නැවත වැසී යන අතර, කිසි විටෙකත් නැවත විවෘත නොවේ. එය පරාගනය නොවුනහොත්, පසුදා පරවී වැටීමට ලක්වේ. පරාගනය සඳහා ප්‍රශස්ත කාලය උදෑසන කාලයේ මැද භාගයයි. (පෙරවරු 7 සිට 11 දක්වා)
එක් පෙකුරක මල් 20 සිට 30 දක්වා හට ගනී. එක් වැලකින් කරල් 100 -150 අතර ලබා ගත හැකිය.

බෝග ආරක්ෂණ

ආර්ථික වශයෙන් වැදගත් පළිබෝධ සහ රෝග වාර්තා වී නොමැත.

අස්වනු හා පසු අස්වනු පිළිවෙත්

අස්වනු නෙලීම

පරාගනයෙන් මාස 8-9 කට පසු කරල් මේරීම සිදු වේ. අස්වනු නෙළීම ප්‍රධාන වශයෙන් නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා සිදු කෙරේ. කොළ පැහැති කරලෙහි කෙළවර කහ පැහැයට හැරෙන විට සහ පහළ කෙළවරේ කරල් විවෘත වන විට අස්වනු නෙලීම සඳහා සුදුසුම කාලයයි. අස්වැන්න නෙළීමේදී පරිණත කරල් පමණක් නෙලිය යුතුය. හොඳින් පැසුණු කරල් 60 ත් 70 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන අතර සැකසූ කරල් කිලෝග්‍රෑම් 1 ක් සෑදීම සඳහා අමු කරල් කිලෝග්‍රෑම් 6 ක් අවශ්‍ය වේ. කරල් අවම වශයෙන් 6cm විය යුතු අතර වඩා හොඳ තත්ත්වයේ කරල් 10cm ට වඩා වැඩි විය යුතුය. පරාගණයෙන් මාස 2 කට පසු කුඩා කරල් (සෙන්ටිමීටර 10 ට අඩු) පොකුරුවලින් ඉවත් කළ යුතු අතර පොකුරක් තුළ කරල් 8-10 ක ප්‍රමාණයකට පමණක් ඉඩ දී අනෙක් සියලුම කරල් ඉවත් කළ යුතුය. කරල උඩු අතට නැමීමෙන් කඩා ගත යුතු අතර, කැඩුම් මතුපිටෙහි දිලීර හානි වළක්වා ගැනීම සඳහා කතුර හෝ පිහියක් ලෙස භාවිතාකර අස්වැන්න නෙලීම නොකළ යුතුය.

අස්වැන්න – වගා කිරීමෙන් වසර 3 කට පසු හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 500 – 800 ක් සහ උපරිම අස්වැන්න අවුරුදු 7- 8 ක කාලයක් ඉක්වන විටදීය.
 
පිරිසැකසුම් කිරීමේ ක්‍රම කිහිපයක් ඇතත් සෑම ක්‍රමයකම මූලික පියවර සමාන වේ.

මැලවීම – සුවඳ සහ රසය නිපදවීමේදී එන්සයිම ප්‍රතික්‍රියා ආරම්භ කරයි. කරල් දුඹුරු පැහැයට හැරේ.

වෑස්සීම – හානිකර පැසවීම වැළැක්වීම සඳහා එන්සයිම ප්‍රතික්‍රියා ඉහල නැංවීම සඳහා ඉක්මනින් වියලීමට සැලැස්වීමට සහ තද දුඹුරු පැහැයට හුරු කරල් ලබා ගැනීම සඳහා උෂ්ණත්වය වැඩි කිරීම සිදු කරයි.

වියළීම – සෙමින් වියළීම. කරල් ඒවායේ මුල් බර තත්වයෙන් තුනෙන් එකක් කරා ළඟා වේ.

තත්වාරෝපණය – අපේක්ෂිත සුවඳ සහ රසය පූර්ණ ලෙස වර්ධනය වීමට ඉඩ දීම සඳහා සංවෘත පෙට්ටි තුල මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් ගබඩා කර තබා ගැනේ.
ලෝක වෙළඳපොලේ වැනිලාවල වාණිජ වටිනාකම තීරණය කරන ලක්ෂණය වන්නේ සකස් කළ වැනිලා කරල්වල සුවඳ සහ රසය වේ. උපරිම සුවඳ සහ රසය මෙන්ම භෞතික පෙනුම ආරක්ෂා කර ගැනීම සඳහා පිරිසැකසුම් කළ යුතුය. හොඳින් මේරූ වැනිලා කරල් නෙලා ගත් පසු ඒවා සකස් කිරීම සඳහා ගෙන ගොස් ප්‍රමාණය හා තත්වය අනුව වර්ග කරනු ලැබේ. වර්ග කළ කරල් විශාල උණු වතුර බඳුන්වලට (සෙල්සියස් අංශක 63) දමා ඉක්මනින් ජලය ඉවත් කරයි. එසේ රත් වූ කරල් තද පැහැති කපු රෙදිවලින් ඔතා ගන්නා අතර දිනකට පසු පැයක පමණ කාලයක් විවෘත හිරු එළියේ පතුරුවලින්/රීප්පවලින් සකස් කල වේදිකා මත තබා වියලා ගනු ලැබේ. සතියක් පමණ, දිනකට පැය දෙකක් අව්වේ කරල් වියළීම සිදු කරන අතර එසේ වේලා ගන්නා සෑම අවස්ථාවකදීම ඒවා කපු රෙද්දක ඔතා තැබේ. මෙම අවස්ථාව වනවිට වැනිලා කරල් තරමක් නම්‍යශීලී භාවයකින් යුක්ත වී ඇත. ඊළඟ මාස දෙක තුනක කාලය තුළ වැනිලා කරල් සෙවන සහිත ස්ථානයක රාක්ක මත හෝ හොඳින් වාතාශ්‍රය ඇති කාමරවල අතුරා තැබෙන්නේ සම්පූර්ණ රසය හා සුවඳ වර්ධනයවීම සඳහා වේ. සකස් කිරීමේ ක්‍රියාවලියට පසුව හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක දී වර්ග කර ඒවා නැව්ගත කිරීමට මිටි බැඳීමට ප්‍රථම ඒවායේ දිග අනුව ශ්‍රේණිගත කරනු ලැබේ. මේ කාලය වන විට වැනිලා කරලේ සුවඳ විශිෂ්ට තත්වයට පත්ව තිබේ.

ප්‍රමිතිගත ගුණාත්මක පිරිවිතර

කරලේ දිග – සෙන්ටිමීටර 17-25 අතර
සුවඳ – ආවේණික වැනිලා සුවඳ
වර්ණය – තද දුඹුරු හෝ කළු වර්ණය
පෙනුම – දිලිසෙන තෙල් සහිත මතුපිට සමග කෘමි හානි හෝ වෙනත් පලුදුවීම් නොමැති වීම
පිරිසිදුකම – බාහිර ද්‍රව්‍ය, සත්ව හා ශාක කොටස් හෝ කෘමීන් ගෙන් තොරවීම තෙතමනය – 25% -30% පමණ

ඖෂධීය හා රසායනික ගුණාංග

වැනිලා නිස්සාරණයේ බොහෝ සංයෝග තිබුණද වැනිලා වල ලාක්ෂණික රසය හා සුවඳ සඳහා වඩාත්ම ලබාදෙන්නේ වැනිලින් (4-හයිඩ්‍රොක්සි -3-මෙතොක්සිබෙන්සාල්ඩිහයිඩ්) ය. කෙසේ වෙතත්, වැනිලා සාරයේ සුළු සංයෝග ගණනාවක් තිබේ. වැනිලා තෙල්වල ඇති ප්‍රධාන සංයෝගය වන්නේ පයිපර්නෝල් (හෙලියොට්‍රොපින්)ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න